බිංදුවයි දශම තුන (පුරුෂ) | දිනමිණ

බිංදුවයි දශම තුන (පුරුෂ)

එයා මාව කට්ට කළුවර ලාච්චුවක දාලා 'දඩෝං' ගාලා වැහුවා. තප්පර දෙකෙන් මම තිරයේ ලයිට් එක දාගෙන ඉබන්ගෙ ඊමේල් කියවන්න ගත්තා. මම කලින් නොදැක්ක අලුත් ලේබල් එකක් දැක්කෙ එතකොටයි. ලේබල් එකේ නම 'ටොම් ඇන්ඩ් සිරී'. ඒක ටිකක් සැක හිතෙන නමක්. ඉබන් කාටුන් බලන කෙනෙක් නෙවෙයි. අමොර් කාටුන් බලන්නෙත් නෑ. මම එකින් එක කියවන්න පටන් ගත්තා. හැම ඊමේල් එකකම ආමන්ත්‍රණය ඉංග්‍රීසි අකුරක් විතරයි. 'ආදරය සමඟ' කියලා සිම්පල් 'අයි' අකුරක් මේල් එකේ අන්තිම කෙලවරේ තිබුණා. ඒ ලේබල් එක පුරාම තිබ්බෙ පෙම් හසුන්. මේ මිනිහා කොහොමද මේක මගෙන් හංගලා තියා ගත්තේ කියනෙකයි ඊළඟට මම කල්පනා කරන්න පටන් ගත්තේ. ඉබන්ගෙ අහිංසක, තැන්පත් මූණ ඊළඟට මවා ගන්න මම උත්සාහ කළා. එයා කොහොමද මේ වගේ වංචාවක් කරන්නේ? මාව තදින් වයිබ්‍රේට් වෙන්න පටන්ගත්තා. එයා සාන්තුවරයෙක් වගේනෙ ජීවත් වෙන්නේ.

එයාට අමොර් ගැන තියෙන්නෙ පොඩි පැහැදීමක් විතරයි, අමොර්ගෙන් බේරෙන්න බෑ කසාඳ බඳින්න කියලා, ඒත් එයා කැමති අර තනි ඉංග්‍රීසි අකුරෙ එක්කෙනාට, තව මාසෙකින් එයාට අලුත් ගෙයක් අරන් දෙනවා... කියලා අන්තිම ඊමේල් එකේ ලියලා තිබ්බා. ක්‍රම ලේඛණයකින් නියෝග ලැබෙන මගේ යාන්ත්‍රීය හදවතට අදහස් ගලාගෙන ආවා. තදින් දැනුණ කේන්තිය නිසා වයිබ්‍රේට් වෙමින් 'කීක්...කීක්' සද්දයකුත් මගෙන් ඇහෙන්න පටන් ගත්තා. ඉබන්ගෙ වචනවලින් කිව්වොත් 'මේක දැලි පිහියෙන් කිරි කෑමක්'. මගේ වචනවලින් කිව්වොත් මේක ඇවකාඩෝ හදවතට පපායා වර්ගයේ මතකයක් බද්ධ කරනවා වාගෙ පාපතර වැඩක්; ද්‍රෝහී වීමක්. මිනිස්සුන්ගේ ජීවිතේ සංකීර්ණ රහස් පොට්ටනි ගොඩකින් වැහිලා කියලා ඒ වෙලාවෙ මම ස්ථීරෙටම දැන ගත්තා.

මම කේන්තියෙන් පුපුරමින් රහස් අගුල් දාලා තිබ්බ තව පින්තූර ෆෝල්ඩර් එකක් ඇතුළට එබිලා බැලුවා. ඉබන් සහ තවත් නොයෙක් වර්ගයේ ගෑනු ළමයින්ගේ ප්‍රීතිමත් පින්තූරවලින් ඒ ෆෝල්ඩර් එක පිරිලා තිබ්බා.

'මේ මොන වනචරයෙක්ද!'

එහෙම හිතමින් මම තිරය නිවා ගත්තා. කරන්නම්කෝ මම වල් ඉබනට හොඳ වැඩක්!!

..................................................................................

කළුවර ලාච්චුවක් ඇතුළේ නින්දට වැටිලා ඉන්න අතරේ පුරුදු කටහඬක් ඇහිලා මම තිරය දල්වගත්තා.

හරි. ඒ ඉබන්ගෙ කටහඬ තමයි. ඒ පාර ඇඳුම් කඩේ ගෑනු කෙනා එක්ක හුරතල් කතා කියනවා. මට තේරුම් ගන්න බැරි වුණා ඒ ඉබන්මද කියලා. ඒත් එක්කම ලාච්චුව ඇරුණා.

'ආ...මෙන්න'

කිංකිණි හිනාවක් එක්ක එයා ෆෝන් එක ඉබන්ගෙ අතට දුන්නා.

'තෑන්ක්ස් ලව්' කියලා ඉබන් ෆෝන් එක අරන් කලිසමේ වම් සාක්කුවට දා ගත්තා. මම සැනසුම් සුසුමක් හෙළුවා. ඉබන් සිංදුවක් උරුවම්බාමින් කාර් එකට දිව්වා.

'මැණිකේ මම ආයෙ ගෙදර එනවා

මට හරි කේන්ති යනවා'

එයා සිංදුවෙ තාලෙට මහ සද්දෙන් කෑ ගහන්න ගත්තා. අපි වෙනදා නොයන අමුතු පාරවල්වලින් ගිහින් ගෙදරට ආවා. ගෙදරට ගොඩවෙච්ච වෙලේ ඉදන් ආයෙ සිංදුව.

'හ්ම්...හ්ම්...හ්ම්...හ්ම්'

ඉබන් කලිසම් සාක්කුවෙන් මාව එළියට අරන් එයාගෙ ඇඳ උඩින් තිබ්බා. සපත්තු ගලවලා ඇඳ යටට වීසි කරලා, කමිසෙත් ගලවලා කිළිටි කූඩෙට වීසි කළා. කාමරෙන් එළියට ගියා. ටීපෝව උඩ නිදි කරවලා හිටිය ඇවකාඩෝ 0.3 ක් වඩාගෙන කාමරේට ආවා.

එයා සම්පූර්ණයෙන්ම කහ පාටයි. මට වඩා පොඩ්ඩක් කෙට්ටුයි, උසයි. එයා අපි දෙන්නව එක ළඟින් තියලා කන්ද උඩ දේශනාව පටන් ගත්තා.

'දැන් බලන්න. මම හිතුවෙ ඔයා නැතිවුණා කියලනේ. මම මෙයාව අරගත්තෙ බැරිම තැන. එයා ඔයාට වඩා ස්පීඩ්. කැමරාවත් කොලිටි වැඩියි. මට සමාවෙන්න'

මේ මනුස්සයාට වසක්, විසක් කැවිලද මන්දා!! මොනාද මේකියවන්නෙ. එයා අඬ, අඬ නාන කාමරේට ගියා. මම කහ ඇවකාඩෝවා දිහා බලලා හිනා වුණා. එයත් හිනා වුණා. අනේ එයා පිරිමි ෆෝන් එකක්. ඒත් මොකක්ද මේ කහ පාට?

'ෆෝන්වල ස්ත්‍රී/පුරුෂකම මිනිස්සුන්ට හොයන්න බෑ බිංදුවයි දශම දෙක. වරහන් ඇතුළේ ස්ත්‍රී. ඒක දන්නෙ අපි අපිම විතරයි. මම බිංදුවයි දශම තුන. වරහන් ඇතුළේ පුරුෂ.

එයා මහ අමුතු විදිහට කතා කරන්නෙ. එයා ඒවට කිව්වෙ 'මැෂින් ටෝක්ස්' කියලා. කවදාවත් ළඟම නෑදෑයෙක්, යාළුවෙක් නොහිටපු මට බිංදුවයි දශම තුන නිවුන්නෙක් වගේ වුණා.

'අපි යාළුවෝ වගේ ඉමු'

ඒ අතරේ එයා එහෙමත් කිව්වා. මට අහන්න වගේම කියන්නත් අප්‍රමාණ දේවල් තිබ්බා. ඒත් ඉබන් ගැන මගේ හිතේ තියෙන සැකය ගැන එයාට කියන්න ඉක්මන් නොවෙන්නත් වඟ බලා ගත්තා. 'මොනා වුණත් අලුත ගෙනා ෆෝන්නෙ. එහෙම වක්කඩ කැඩුවා හේ රහස් කියන්න නරකයි. කවුද දන්නෙ ඔත්තුකාරයෙක්ද කියලා'

එයා තිරය එහෙම පත්තු කරගෙන පළවෙනි ප්‍රශ්නෙ අහන්න හරි-බැරි ගැහුණා.

'ඉබන්ගෙ කෙල්ල අමොර් ද? මිකී මවුස් ද? ලීනා මැක්ස් ද? එහෙමත් නැත්නම් බියංකා ද?'

'මොක්කු?'

මම ඉතාම පහත් විදිහට ආයෙම එයාගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවා. එයා කලබල වුණේම නෑ. මම තමයි මෙතැන හැම ඉලව්වටම වයිබ්‍රේට් වෙන්න ගන්නේ. ඔය යස අගේට එයා තිරයවත් නිවාගන්නෙ නැතුව ඉන්නේ.

'අමොර් තමයි' මම අඩමානෙට උත්තරේ කිව්වා.

'අනේ ඔයා දන්න ඉටිගෙඩිය. අමොර් නෙවෙයි.'

ඉබන් කියන්නෙ මහ වනචරයෙක්. එයා පහත් හඬින් මුමුණන්න ගත්තා. එයා බොරුකාරයෙක්. එයාට හදවතක් නෑ. අමොර් මේ කිසි දෙයක් දන්නෙ නෑ. අමොර් මිකී මවුස් ගැනවත් මිකී මවුස් ලීනා මැක්ස් ගැනවත් ලීනා මැක්ස් බියංකා ගැනවත් දන්නෑ. එයාලා හැමෝම හිතන් ඉන්නෙ ඉබන් එයාලගෙන් කාව හරි කසාද බඳින්න ඉන්නවා කියලයි. කොටින්ම අර බියංකා හිතාගෙන ඉන්නෙත් දික්කසාද වෙලා ඉබන්ව බඳින්න. ඔය ඉතිං... බියංකව දන්නෙත් නැද්ද? අර ඇඳුම් කඩයක් තියෙන්නෙ. ඔයාව නැතිවෙලා ඉදලා හොයලා දුන්නේ.

මට මගේ ගැනම දුක හිතුණා. 'අනේ ඉතිං මම මොනවද දැනං ඉදලා තියෙන්නේ?' මගේ ඇතුළත පරිපථ පවා රිදෙන්න ගත්තා. ලැබෙන අණ කිරීම් ඔක්කොම එකපාර පැටලිලා වගේ තේරුණා. ඉබන් කියන්නේ වංචාවේ අලුත්ම නිෂ්පාදනයක්. මමත් ඒකට අහු වෙලා දිය වෙලා යමින් හිටපු අනු නිෂ්පාදනයක්.

මම අලුත් තුරුම්පුවක් එළියට ඇද්දා. 'එතකොට ඔයාගෙ ෆෝන් එකේ තියෙන ඊමේල් එකේ ඒවා නෙවෙයිද මගේෆෝන් එකේ තියෙන ඊමේල් එකේ තියෙන්නේ? ඔයා කොහොමද මට වඩා එයාගෙ රහස් දන්නෙ?

එයාගෙ සමච්චල් හිනාව මට දරාගන්න බැරි වුණා. කොටින්ම කියනවා නම් එයා හිනාවෙලා වැඩිවෙලා, වයිබ්‍රේට් වෙවී ඇද පල්ලටත් වැටෙන්න ගියා. මගේ ඉවසීමේ සීමාව පැන්නා.

'යකෝ!! මිනිහෝ!! මොකෝ හිනාවෙන්නෙ? මම සරල ප්‍රශ්නයක් නේද ඇහුවේ? තමුන්ගේ මහන්තත්තකම පැත්තකින් තියලා මට උත්තර දෙනවා. ඇයි තමුන් හිතන් ඉන්නෙ කහ පාට වුණා කියලා හරි ලොක්කෙක් කියලද? පිරිමි ෆෝන් කවදද කහ පාට වුණේ? මම මේ මනුස්සකමටකට පියාගෙන හිටියේ. ඔහේට ඔය ගෑනු ෆෝන් එකක ඇඳුමක් අන්දලා නෙවෙයි. තමුනුත් ගෑනු ෆෝන් එකක්. ඔව්!! වරහන් ඇතුළේ 'ස්ත්‍රී'

බිංදුවයි දශම තුන, මේ නාඩගම නවත්තලා මම අහපු දේට උත්තර දෙනවා. මං ඔහේගෙ රහස රකින්නම්.

එයා එක පාරටම නිශ්ශබ්ද වුණා. හරියට මම නඟපු අභූත චෝදනා ඔක්කොම ඇත්ත වගේ. ඊට පස්සේ ආයෙම වයිබ්‍රේට් වෙන්න පටන් ගත්තා.

'ඕයි!! ගෑනියේ, බිංදුවයි දශම දෙක, අහගන්නවා හොඳට. ඉබන් අලුතෙන් ගත්තු ෆෝන් එකක් නෑ. වල් වනචරයා. මාව අයිති බියංකට. එයාට ෆෝන් දෙකක් තියෙන නිසාත්, ඔහේ හිටපු ගමන් අර අවලම් හොරෙක් එක්ක පැනලා ගිය නිසාත් එයා මාව ඉබන්ට දුන්නා.'

ඉබන් ආවා සාලුවකින් ඇඟ පිහිදමින් කාමරේට. අපේ කතාව නැවතුණා. ඉබන්ගෙ කතාව පටන් ගත්තා.

කාංචනා අමිලානි
@moogater 

නව අදහස දක්වන්න