යාපනයේ කජු ගොවිපළක් අරඹන්න අමෙරිකානු රජයෙන් දසලක්ෂ 2.9ක් | දිනමිණ

යාපනයේ කජු ගොවිපළක් අරඹන්න අමෙරිකානු රජයෙන් දසලක්ෂ 2.9ක්

යුද්ධයෙන් විපතට පත්ව කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව සිටින යාපනයේ පවුල් හතළිහක් සඳහා කජු ගොවිපළක් ආරම්භ කොට දීමට අමෙරිකානු රජය විසින් ආධාර සපයා දී තිබේ.

යාපනයේ වඩමරච්චි නැගෙනහිර මරදන්කේණී ප්‍රදේශයේ අම්බාන් ගම්මානය මේ සඳහා තෝරාගෙන ඇති අතර අක්කර දහයක කජු වගා කිරීමට මේ ව්‍යාපෘතිය මගින් සැලසුම් කර ඇත. මේ සඳහා අමෙරිකානු රජය මගින් රුපියල් දසලක්ෂ 2.9ක මුදලක් ලබාදීමට නියමිතය.

කජු වගාවේ වසර තුනකින් අස්වනු නෙළා ගැනීම අරම්භ වනතුරු එම භූමියේ අතුරු වගා කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා ද කජු ව්‍යාපෘතියට අමතරව අමෙරිකානු ආධාර සැපයේ.

මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන සිටින පවුල්වලට තවත් ආහාර දීමනාවක් හා එම පවුල් වල ඉගෙනුම ලබන පිරිසට අධ්‍යාපන කටයුතු සඳහා ආධාර සපයා දෙන වැඩ පිළිවෙළක් ද මේ කජු ව්‍යාපෘතියට සමගාමීව සිදු කෙරෙයි.

ශ්‍රී ලංකා කජු සංස්ථාවේ උපදෙස් හා මෙහෙයැවීම යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර කජු වගාවේ සම්පූර්ණ ආදායම තෝරාගෙන සිටින පවුල් අතර බෙදී යන අන්දමට එම ව්‍යාපෘතිය සකස් කොට තිබේ. ව්‍යාපෘතියේ ආරම්භක කටයුතු පසුගියදා සිදු වූ අතර එහිදී ව්‍යාපෘතියේ හිමිකම් පත් තෝරාගත් පවුල් වලට ලබා දීමද සිදුවුණි.

වවුනියාව උතුර සමූහ
බන්දුල සෙනෙවිරත්න

නව අදහස දක්වන්න