තහනම් උත්තේජක සහයෝගීතා කොළඹ මහා සමුළුවට සූදානම් | දිනමිණ

තහනම් උත්තේජක සහයෝගීතා කොළඹ මහා සමුළුවට සූදානම්

ප්‍රින්ස් ගුණසේකර

ආසියා - ඕෂනියා රටවල් අතර තහනම් උත්තේජක පිළිබඳ අන්තර්ජාතික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ උපාය මාර්ග සාකච්ඡා කිරීමේ අරමුණින් ලබන මස කොළඹ දී පැවැත්වෙන සමුළුවට සියලු කටයුතු සූදානම් බව ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

14 වැනි වරට පැවැත්වෙන මේ මහා සමුළුව ලබන මස 18 හා 19 දිනවල ආසියා - ඕෂනියා කළාපවල රටවල් 45ක නියෝජිතයෝ 80කගේ පමණ සහභාගිත්වයෙන් කොළඹ දී පැවැත්වෙයි. මේ මහා සමුළුවට සහභාගීවන අතර ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (wada) සභාපති අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රීමත් ක්‍රෙග් රීඩ් මහතා මුලසුන හොබවයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතා මේ සමුළුවට සහභාගීවන අතර ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ (wada) ප්‍රධානියා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද සැලසුම් කොට ඇත.

කොළඹදී පැවැත්වෙන මහා සමුළුවේදී ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ ඉදිරි වැඩ පිළිවෙළ සාමාජික රටවල් වෙත පැහැදිලි කරන අතර එම වැඩ සටහන අනුව තහනම් උත්තේජක මර්දන සහයෝගීතා වැඩ පිළිවෙළ දියත් කෙරේ. තහනම් උත්තේජක ජාවාරමට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමේදී බලපාන ප්‍රශ්න, ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිතයෙන් වැළැක්වීම වෙනුවෙන් තවදුරටත් කළ යුතු පෙළඹවීම් මේ සමුළුවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.

තහනම් උත්තේජක පිළිබඳ අන්තර්ජාතික සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ මෙවැනි මහා සමුළුවක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේදී චීනයේ හැංග්ෂූ හිදී පැවැති සමුළුවේදී මෙහි සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පිරිනැමුණි. එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා එක් වූවේය.

වසර 2018 හා 2022 දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා නගර සූදානම් කිරීමේදී එම රටවල නියෝජිතයින් හා 2020 ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ සත්කාරකත්වය හිමි ජපානයේ නියෝජිතයන් දැනුවත් කිරීම ද මේ සමුළුවට සමගාමීව ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය මගින් සිදු කිරීමට නියමිත.

ශ්‍රී ලංකාව තහනම් උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති පනතක් සම්පාදනය කරමින් මෙරට තහනම් උත්තේජක මර්දන කටයුතු උදෙසා දක්වන ලද දායකත්වයට ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ විශේෂ ඇගැයිමක් ලැබී ඇති අවස්ථාවක මේ සමුලුව පැවැත්වීම විශේෂත්වයකි. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පමණක් නොව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක භාවිත කළහොත් එයට එරෙහි නීති සම්පාදනය කොට ඇති අතර පුහුණුකරුවන්ට දැඩි දඩුවම් පැනවීමට ද තහනම් උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති පනත මගින් ඉඩකඩ සැලසී තිබීම විශේෂත්වයකි.

නව අදහස දක්වන්න