කොළඹ පැල්පත් වාසීන්ට නව නිවාස 20,000ක් | දිනමිණ

කොළඹ පැල්පත් වාසීන්ට නව නිවාස 20,000ක්

මහා නගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදිකළ නව නිවාස 20,000ක් ඉදිරි වසරක කාලය තුළදී ජනතා අයිතියට පත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.

පසුගිය දා (23) හේනෙමුල්ල මෙත්සඳ සෙවණ නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක 722ක් ජනතා අයිතියට පත් කළ අතර, ඒ සමඟ 2016 වසරේ සිට මේ දක්වා නව නිවාස 3,429ක් ජනතා අයිතියට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සමත්වී තිබේ.

2016 - 2017 වර්ෂවල දී රුපියල් මිලියන 9080ක් ආයෝජනය කර නව නිවාස 2,270ක් ජනතා අයිතියට පත් කළ නාගරික සංවර්ධන අධිකාරිය 2018 වර්ෂයේ දී රුපියල් මිලියන 44,515ක් ආයෝජනය කර නිවාස ඒකක 8903ක් ජනතා අයිතියට පත්කිරීම සඳහා කටයුතු කරමින් සිටියි.

එසේම තවත් නිවාස 9,904ක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 49,520ක් ආයෝජනය කර ඇති අතර, සියලු ව්‍යාපෘතීන් අවසන් වන විට ඇමැති චම්පික රණවක මහතාගේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2020 වසරට පෙර ජනතා අයිතියට පත්කරනු ලබන සම්පූර්ණ නිවාස ඒකක ගණන 20,000 ඉක්මවනු ලබයි.

කොළඹ නගරයේ යටින් ඇති ගඳ ගහන යථාර්ථය වෙනස් නොකර උඩින් මල් පෝච්චි තැබීමෙන් ඵලක් නොවන බව ඇමැතිවරයාගේ මතයයි.

අඩු ආදයම්ලාභී පැල්පත් නිවාසවල ජනතාවට ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත් විය හැකි නව නිවසක් ලබාදීම හරහා එම ජනතාවගේ ජීවන මට්ටම් උසස් කිරීම තුළින් කොළඹ නගරයට යහපත් අනාගතයක් උදාවනු ඇත.

නව නිවාස ලාභීන්ට අලුත් නිවසක් සමඟම අලුත් ජීවිතයක් ආරම්භ කිරීම

සඳහා අවශ්‍ය සියලු වැඩපිළිවෙළ සහ පහසුකම් සැපයීමට ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.

එම නිවාසවල ජීවත්වන දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම, තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීම, කාන්තාවන්ට ස්වයං රැකියා සඳහා අවශ්‍ය මාර්ගෝපදේශනය සැපයීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ද දැනට ජනතා අයිතියට පත් වූ නිවාස ව්‍යාපෘති තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.

තව ද නිවාස සංකීර්ණයෙන් වෙන් වූ කළමනාකරණ කමිටු පත් කිරීම, නිවාස සංකීර්ණ අසල ක්‍රීඩා පිටි, ප්‍රජා ශාලා සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් අංග සම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත් කිරීමට කටයුතු කර ඇත. ඒ හරහා කොළඹ නගරය තුළ තවත් උප නගර පහක් නිර්මාණය කිරීම නාගරික සංවර්ධන අධිකාරියේ අරමුණයි.

රාජ්‍ය බලය යොදවා බලහත්කාරයෙන් කොළඹ පදිංචිකරුවන් එළවා දමා ඒ මත සුන්දර මල් උයන් නිර්මාණය කරනු වෙනුවට දීර්ඝ කාලීන සැලසුමකට අනුව ක්‍රමානුකූලව කොළඹ ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරීම සඳහා ක්‍රියාත්මක වන ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ ව්‍යාපෘතිය මහ නගර සංවර්ධනයේ සැබෑ අරමුණු හඳුනාගත් මිනිසකුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන අනාගත කොළඹ ජනතාවගේ ජීවන ප්‍රබෝධයේ ප්‍රමුඛතම ව්‍යාපෘතියයි.

නව අදහස දක්වන්න