ගෙවීම් සම්බන්ධ වවුචර් එකක්වත් නෑ: මූල්‍ය විනිවිදභාවය ඉතාම දුර්වලයි | දිනමිණ

ගෙවීම් සම්බන්ධ වවුචර් එකක්වත් නෑ: මූල්‍ය විනිවිදභාවය ඉතාම දුර්වලයි

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රීඩා සංගම් වංචාවෙන් දුෂණයෙන් පිරී ඇතැයි විගණකාධිපති කියයි

ක්‍රීඩා සංගම්වල මූල්‍ය පාලනය සම්බන්ධයෙන් රටේ විගණකාධිපතිවරයා ලෙස ඉතාමත්ම අප්‍රසන්න හැගීමක් ඇතැයි ගාමිණි විජේසිංහ මහතා පවසයි. ක්‍රීඩා සංගම්වල මුල් පුටුවලට පත්වන ඇතැම් අය ක්‍රීඩා පරිපාලනය තුළින් කුමන සේවයක් කළ හැකිද යන්න පිළිබඳ නිවැරදි තක්සේරුවක සිටිනවා වෙනුවට එම ක්‍රීඩාව ඇතුලේ කොපමණ මුදල් තිබෙනවාද යන්න සොයා බලා තනතුරුවලට පත්වීම ක්‍රීඩාවේ පරිහානියට හේතුවක් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය. විගණකාධිපතිවරයාගේ අස්සනින් වාර්තාවක් සකස් වෙද්දී පිළි ගතහැකි තත්ත්වයක් තිබිය යුතු වුවද, ක්‍රීඩා සංගම්වල එවැනි වටපිටාවක් නැති බවත්, මූල්‍ය විනිවිදභාවය ඉතාම දුර්වල බවත් හොරකම,වංචාව,දුෂණය ඇතැම් ක්‍රීඩා සංගම්වල දක්නට ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඔහු එසේ පැවැසූවේ ජාතික ක්‍රීඩා පනතේ පවතින යම් යම් ගැටළු සංශෝධනය සම්බන්ධයෙන් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය. මේ මාධ්‍ය හමුව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා ඇමැති අධිනීතීඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා ක්‍රීඩා සංගම් 64 ක් නියෝජනය කරමින් සංගම් වල ප්‍රධාන නිලධාරීන් එක්ව සිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගීවී සිටියහ.

“අපි සංගම් 62ක වාර්තා සකස් කරනවා. මට අපේ නිලධාරින් විශාල ප්‍රමාණයක් මේ සඳහා යොදවන්න සිදු වුණා. විගණනයක් කිරීම සඳහා මුලික ලිපි ලේඛන අවශ්‍ය වෙනවා. එයට ක්‍රමවේදයක් තිබිය යුතුයි. ක්‍රීඩා සංගම්වල කිසිම ක්‍රමවේදයක් නෑ. ගිණුම් තැබීම විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. ඇතැම් ක්‍රීඩා සංගම්වල වවුචර් එකක්වත් නැහැ. ඒ අනුව අපිට විගණනයක් කරන්න විදියක් නැහැ. දෙන වාර්තාවක් හදලා අනිත් පැත්තට හැරවීම කරන්න වෙලා තියෙන්නේ. ඒක ඉතාමත්ම නරක තත්වයක්” විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය.

“මා හොඳ ක්‍රීඩකයෙක් නිසා ක්‍රීඩාවට හරිම ආදරෙයි. මා පොඩි කාලේ සිටම ක්‍රීඩා කොට සමස්ත ලංකා දක්වා ආවා. විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ අවුරුදු 3 ම වර්ණ දිනා ගත්තා. පිහිනුම් මගේ ප්‍රධානම ක්‍රීඩාව. ඊට අමතරව මීටර් 100, යගුලිය, කවපෙත්ත ඒ වගේ ඔක්කොම කළා. ඇත්තටම මා ආදරෙයි ක්‍රීඩවට. ක්‍රීඩාව පසුබසින ආකාරය දුටුවාම මට දුකයි. එහි වගකීම ගත යුත්තේ නිලධාරීන්. මා හිතන් නෑ කිසිම ක්‍රීඩා සංගමයක, අදාළ පුද්ගලයෝ සතුටට පත් වෙලා ඉන්නවා කියලා. බලාපොරොත්තු වෙන දේ කිසිම ආකාරයකින් සිදු වෙන්නේ නෑ. හොරකම, වංචාව, දුෂණය කියන එක ඇත්තටම තිබෙනවා මේවා නිවැරදි කරගන්න අවශ්‍යයි” විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසීය.

ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පැවැසූවේ ඇතැම් ක්‍රීඩා සංගම් තවමත් මුල්‍ය වාර්තා භාරදී නැති අතර විගණකාධිපතිවරයා දෙන උපදෙස් ක්‍රියාත්මක නොවීම ගැටලුවක්ව ඇති බවය. එහෙයින් විගණකාධිපති මගින් විගණනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම අත්‍යාවශ්‍ය වූ බව ඒ මහතා සඳහන් කළේය.

“අපි ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වෙන්නේ එකමුතුවයි. නමුත් ක්‍රීඩා සංගම්වල තිබෙන ප්‍රශ්න දිහා බැලුවාම එකමුතුකමක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. මා විශ්වාස කරන්නේ ඕනෑම රටක ක්‍රීඩාව තුළින් බලාපොරොත්තු වෙන්නේ සහජීවනය, සහෝදරත්වය, බැදීම. 1973 සම්මතවූ අපේ ක්‍රීඩා පනතේ නීති රීති දිහා බලනකොට ක්‍රීඩා ඇමතිතුමාට විශාල අභිමතයක් තියෙනවා. ඒ අභිමතය සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රීඩා කණ්ඩායම් අනුමත කරන්නේ ඇමැති, තේරීම් කමිටු නිලධාරීන් පත් කරන්නේ ඇමැති, ඒ වගේම ක්‍රීඩා අරමුදලක් තිබෙනවා. ඒ මුදල් ඇමැතිතුමාට කැමති කෙනෙක්ට දෙන්න පුළුවන් විදියට සැකසී තිබෙනවා. ඒ අභිමතය කෙසේ පාවිච්චි කළ යුතුද කියලා ක්‍රීඩා සංගම් සමග සාකච්ඡා කරලා පුළුල් කතිකාවතකට යා යුතුයි. මා මේ අමාත්‍යාංශය භාර ගනිද්දි කිව්වා මූල්‍ය වංචාවකදී හැර අතුරු කමිටු පත්කරන්නේ නෑ කියලා.

මා නීතිඥ කමිටුවක් පත් කරලා තියෙනවා. නීතිඥ මහත්වරු 06 දෙනෙක් ස්වෙච්ඡාවෙන් කිසිදු මුදලක් අය නොකර මට සහය දෙන්න එකඟවෙලා තියෙනවා. ක්‍රීඩා සංගම්වල අදහස් විමසීමෙන් අනතුරුව ක්‍රීඩා පනත පිළිබඳ ජනතාවගෙන් අදහස් ගන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම දින 14 ක් ලබා දෙනවා. මේ ගමන එකට යා යුතු ගමණක්. මම කිසිවිටෙක පක්ෂග්‍රාහීව වැඩ කරන්න සූදානම් නෑ. ක්‍රීඩා පනත යටතේ ලේකම් අබිබවා ගොස් ඇමතිතුමාට තීන්දු තීරණ ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ප්‍රශ්නෙට අපි විසදුමක් හොයන්න අවශ්‍යයි. ඇතැම් ක්‍රීඩා සංගම් තියෙනවා කවදාවත් විගණන වාර්තාවක් ඉදිරිපත් නොකරපු. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විදියට මම දැඩි තීන්දු ගන්නවා. මූල්‍ය වංචාවක් හොයන්න විගණන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. විගණන වාර්තාවක් ඉදිරිපත් කළේ නැත්නම් ඒ ක්‍රීඩා සංගම්වල ලොකු ප්‍රශ්න තියෙන්න පුලුවන්” ඇමැතිවරයා පැවැසීය.

නව අදහස දක්වන්න