පියා­ඹන සිහි­නය සැබෑ­ක­ර­ගත් යකඩ මිනිසා | දිනමිණ

පියා­ඹන සිහි­නය සැබෑ­ක­ර­ගත් යකඩ මිනිසා

මීට වසර දෙකකට පමණ පෙර රිචඩ් බ්‍රවුනින් එංගලන්තයේ ග්‍රාමීය පෙදෙසක තිබෙනා තම ගොවිපළෙහි තැනූ මඩුව වෙත ගියේ තම රහසිගත ව්‍යාපෘතියේ කටයුතු අත්හදා බැලීමටයි. ඒ තමයි භූමිතෙල් වලින් බල ගැන්වෙන ක්ෂූද්‍ර ටර්බයින තම අත් හා පාද වලට සවි කරගෙන පොළවෙන් ඉහළට එසවීම. හොලිවුඩ් චිත්‍රපටයක කොටසක් ලෙසින් දිස් වූවත් මෙය සැබෑ ලෝකයේ සිදුවූ සත්‍ය සිදුවීමක්.

ප්‍රසිද්ධ චිත්‍රපටයක් වන ‘Iron Man’ හි සුපිරි චරිතය වන ටෝනි ස්ටාක් ගේ චරිතයට තරමක් සමාන රිචඩ් බ්‍රවුනින් හට ‘විල්ෂයර් හි යකඩ මිනිසා’ (Wiltshire’s Iron Man) යන නාමය ලැබී තිබෙන්නේ ඔහුත් ටෝනි ස්ටාක් මෙන් නව නිර්මාණකරුවකු වන නිසායි.

රිචඩ් බ්‍රවුනින් මාස 4ක් පුරාවට රහසිගතව කරනු ලැබූ වැඩකටයුතු වල අවසානය, තත්පර කිහිපයක සමබරතාවයකින් තොර ඉහළට එසවීමකි. එසේ වුවත් ඔහු එහි ධනාත්මක පැත්ත දුටුවේ තම තාක්ෂණය තව දුරටත් දියුණු කර ඔහුගේ සිහිනය වන එනම් පියාඹන මිනිසකු වීම සැබෑ කරගත හැකි බවයි.

39 හැවිරිදි Richard Browning මීට වසර තුනකට පමණ පෙර මෙම සිහිනය පසුපස හඹා යාම ආරම්භ කර තිබෙන්නේ පියාපත් හා විදුලි පංකා මෝටර් උපයෝගී කරගෙනයි.

දිවා රෑ නොබලා මේ සඳහා වෙහෙසුනද තම බිරියගේ පෙරැත්තය නිසා එය නවතා දමා තිබෙනවා. ඉන්පසුව ඔහුට කුඩා ජෙට් එන්ජිමක් සිරුරට සවි කර ගැනීමේ අදහස ඇතිවී තිබෙනේ සැබෑ ලෝකයේ ටෝනි ස්ටාක් වීමේ පළමු පියවර තබමිනි.

ඔහුගේ සාර්ථක පළමු පියාසැරියෙන්මාස 9ක් ගතවන විට ඔහු කිලෝග්‍රෑම් 130ක තෙරපුමක් ලබා දිය හැකි වායු ටර්බයින 6ක් සහිත බාහිර සැකිල්ලක් පැළඳ සිටින්නේ තත්පර ගණනක් නොව විනාඩි 12ක් තරම් දිගු කාලයක් මනා සමබරතාවකින් යුතුව අහසට නැගීමේ හැකියාව සහිතවයි.

පැයට කිලෝමීටර් 51ක වේගයෙන් විලක් උඩින් පියාසර කරමින් ගිනස් ලෝක වාර්තාවක් රිචඩ් විසින් තබා තිබෙන්නේ පසුගිය වසරේ අගභාගයේදීයි. පැයට කිලෝමීටර් 450ක වේගයක් මෙම ටර්බයින එන්ජින් වලට ලබාදීමට හැකියාව තිබුණත් ඔහු තවමත් එම ඉන්ජින් වල උපරිම ධාරිතාවයේ ආසන්නයටවත් අත්හදා බලා නෑ. නමුත් ඔහු තම බාහිර සැකිල්ල එනම් පියාඹන ඇඳුමට විවිධ උපාංග අලුතින් එක් කර තිබෙනවා.

රිචඩ් ගේ Gravity සමාගම සුප්‍රකට Sony සමාගම හා එක්ව ඔහුගේ හෙල්මටය සඳහා හොලෝග්‍රෑම් තිරයක් නිපදවා තිබෙන්නේ ඔහුගේ වේගය හා ඉන්ධන තත්වය ඔහුගේ දෑස ඉදිරිපිටදීම පහසුවෙන් දැක ගැනීමටයි. නුදුරු අනාගතයේදී මෙම පියාඹන ඇඳුම ස්ව්‍යංක්‍රීය සමබරතාව රැකගැනීමේ පද්ධතියකින් හා නම්‍යශීලී LCD තිර වලින් සන්නද්ධ කරන්නේ ගුවන්ගත වූ විට අදෘශ්‍යමාන වීමේ බලාපොරොත්තුවක් ද සහිතවයි. තාක්ෂණිකව සන්නද්ධ වීමට අමතරව රිචඩ් විසින් මැරතන් දිවීම, රාජකීය නාවුක හමුදාවේ සිටියදී ඉගෙනගත් ජිම්නාස්ටික් ව්‍යායාම හි නිරත වන්නේ තම ශරීරයත් පියාඹන ඇඳුම වඩා හොඳින් පාලනය කිරීමට හැඩගන්වා ගනිමිනි.

බිරිය හා දරුවන් දෙදෙනා සමඟ ජීවත් වන මොහු සාමාන්‍ය මිනිසකු ලෙසින් British Petroleum සමාගමේ සේවය කරන අතර මොහු රාජකාරි කටයුතු වලට යන්නේ තම පාපැදියෙනි.

සිය පියාගේ අඩි පාරේ යමින් නව නිර්මාණ සිදු කිරීම තම විනෝදාංශය කරගත් මොහු ලොව පුරා බොහෝ දෙනකු අතර සාර්ථක මිනිසකු හා නව නිපැයුම්කරුවකු ලෙසින් ප්‍රසිද්ධ වී තිබෙන අතර ප්‍රසිද්ධ දේශන පවා පවත්වයි.

මේ සියල්ල අතරින් ඔහු Daedalus (ශ්‍රේෂ් ග්‍රීක නිර්මාණකරුවෙක්) යන නමින් හඳුන්වන තම පියාඹන ඇඳුම දියුණු කරන්නේ මානව ඉතිහාසයේ ආරම්භයේ සිටම මිනිසා හට තිබූ පියෑඹීමේ සිහිනය අපි සියලු දෙනාටම සැබෑ කර දීමටයි.

www.wired.co.uk  ඇසුරිණි. 

නව අදහස දක්වන්න