යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතියයි | දිනමිණ

යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතියයි

සිතාරා සේනානි

පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කෙළේ අතේ නීතියයි

පසුගිය ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වුයේ අතේ නීතිය බවත්, යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ පොතේ නීතිය බවත්, පොතේ නීතිය උසාවිය හරහා ක්‍රියාත්මක කරන විට කාලයක් ගතවන නිසා ඇතැම් පිරිස් ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් යැයි කියමින් විවේචන එල්ල කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි. ආණ්ඩුවට කොන්ද පණ නැතැයි ඇතැමුන් පවසන්නේ ඔවුන්ට පරිණත ප්‍රජාතන්ත්‍රවාදය නොතේරෙන නිසා බවත්, ඇමැතිවරයා පවසයි.

රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවා විවේචනය කිරීමට අද වනවිට ඕනෑම අයකුට හැකියාව ලැබී ඇත්තේ ආණ්ඩුවේ පරිණත ප්‍රජාතන්ත්‍රවාදය නිසා යැයිද ඇමැතිවරයා පෙන්වා දෙයි.

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථා‍නයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේදී ය.

'පසුගිය ආණ්ඩුව සමයේ මේ රටේ නීති දෙකක් තිබුණා, අ‍තේ නීතිය සහ පොතේ නීතිය කියලා.

අතේ නීතිය ක්‍රියාත්මක වනවිට එක ඇමැතිවරයෙක් පොලීසියේ ඩී.අයි.ජී. ළඟට ගිහින් ‍ෆෝන් එක ඔහුගේ කනේ තියලා,'කතා කරනවා' කියනවා. ඉතින් උන්නැහේ කතා කරනවා. ෆෝන් එකේ අනෙක් කෙළවරේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඔහු ඩී.අයි.ජී.ට අණ දෙනවා.

මෙහෙම වුණාම මිනිස්සු ඇවිත් ඩී.අයි.ජී.ගේ තොප්පියටත් ගහනවා. ඒත් අද අපේ ආණ්ඩුව කාලයේ තිබෙන්නේ පොතේ නීතියයි.

අපි නීතිය අතට අරන් නෑ, නීතිය ක්‍රියාත්මක කිරීම උසාවියට දීලා තිබෙනවා. උසාවියේ නඩු අහනකොට කල්ගත වෙනවා.

මේ විදිහට පොතේ නීතියට එහෙමත් නැතිනම් පරිණත දේශපාලනයට ගියාම කාලයක් ගත වෙනවා. ඒත් අතේ නීතියට ගියාම ඉක්මන් වෙනවා.

අපි පොතේ නීතිය ක්‍රියාත්මක කරන් ගියාම කල්ගත වෙන නිසා සමහරු අපිට ෆේල් ආණ්ඩුවක් කියනවා. ඒත් බය වෙන්න එපා පාර්ලිමේන්තුවේ සම්මත වුණා විශේෂ අධිකරණ පිහිටුවීමේ පනත. ඒවා පිහිටුවීමෙන් පසු එක දිගට නඩු අහනවා.

එදාට කටටත් බලාගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා.' යනුවෙන් ද ඇමැතිවරයා කීය.

නව අදහස දක්වන්න