මිහින් ලංකා රජයේ මුදල්වලට වගකියන්න කෙනෙක් නැහැ | දිනමිණ

මිහින් ලංකා රජයේ මුදල්වලට වගකියන්න කෙනෙක් නැහැ

කමනි අල්විස්

මිහින් ලංකා සමාගමට රජයේ මුදල් ආයෝජනය සිදු කළද වසර 2010 වනවිටදී රජය වෙනුවෙන් මුදල් වලට වගකීමට රාජ්‍ය නියෝජනයක් නොතිබුණ බව ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ පෙරේදා (11) අනාවරණය වුණි.

රජය නියෝජනය කරන ලද අධ්‍යක්ෂවරුන් තිදෙනා වසර 2008දී ඉවත්වීමෙන් සිදුවුණු පුරප්පාඩුවට පත් කර තිබෙන්නේ රාජා එදිරිසූරිය, සරත් ද සිල්වා, හේමලාල් තල්ගස්හේවා නමැති ව්‍යාපාරිකයින් තිදෙනෙකි. ඉවත්වී තිබෙන රජය නියෝජනය කළ අධ්‍යක්වරුන් තිදෙනා වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් සජින් ද වාස් ගුණවර්ධන, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුන් බවත් කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණය වුණි. වසර 2008 මැයි 29 වැනිදා සහ 30 වැනිදා දිනවලදී ඉවත්වීම් සිදුව තිබෙන බව කොමිසම ඉදිරියේ හෙළිවිණි.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා, සාක්ෂිකරු සමාගම් රෙජිසේට්‍රාර් නිහාල් රන්ජන් සිරිවර්ධන මහතාගෙන් සිදු කළ විමසීම් හමුවේ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු මේ බව අනාවරණය කළේය.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර මහතාගේ විමසීමක් හමුවේ සාක්කිකරු පැවසුවේ කපිල චන්ද්‍රසේන, නීතිඥ චන්දන ලියනපටබැඳි, මනෝජ් ද වාස් ගුණවර්ධන, ගාමිණී අබේරත්න මහත්වරු මිහින් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස 2010 වසරේ පත්වුණ බවයි.

පත්වී තිබෙන මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ කිසිවකු භාණ්ඩාගාරය නියෝජනය කරන බවට ලේඛන අනුව සඳහන් නොවන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු පැවසීය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා සභාපතිත්වය දරන විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර හිටපු මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු සහ විගණන ප්‍රධාන සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. ජී. ‍ෙක්. ගීගනගේ මෙනවියගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂිකරු සාක්ෂි දුන්නේය.

නව අදහස දක්වන්න