ගම හදන නව ප්‍රවේශය | දිනමිණ

ගම හදන නව ප්‍රවේශය

වසන්ත ප්‍රිය රාමනායක

මාධ්‍ය මඟින් පෙන්වා දෙන ගමේ අඩුපාඩු ගැනවත් සමහර නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ තැකීමක් නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ගම හදන ගමන’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ මීට පිළියමක් ලෙසින් බව පෙනේ. වසර 3 1/2ක මේ ආණ්ඩුවේ රාජ්‍ය සමය තුළ ද නොවිසඳී ඇති ගමේ ප්‍රශ්න සොයා ජනාධිපතිවරයා අදාළ ගමටම යෑමට සූදානම් වේ.

ශ්‍රී ලංකාව තවමත් පවතින්නේ නගර කේන්ද්‍රීය රාජ්‍යයක් ලෙසින් නොවේ. ගම මුල්කරගත් ආසියාතික රාජ්‍යයක් ලෙසිනි. තවමත් රටේ ජනගහනයෙන් 70%ක් පමණ ජීවත්වන්නේ ගම්වල හා අර්ධ නාගරිකවයි. අර්ධ නාගරික යන්න මීට වසර 50කට පෙර ගම් ලෙසින් හැඳින්වූ ප්‍රදේශයි. එහෙත් සමස්ත බෙදීමේ දී අර්ධ නාගරික ප්‍රදේශ අයත් වන්නේ ද ගමටයි.

මේ නිසා නිදහසින් පසුව මේ රටේ පහළ වූ සියලුම ආණ්ඩු වැඩක් කළත් නැතත් ගම ගැන කතා කිරීමට හා ගම ගැන අවධානයක් යොමු කරන බව පෙන්වීමට කටයුතු කර තිබේ. කිසිදු රජයකින් ගමට වැඩක් නොවුණායැයි මින් අදහස් නොකෙරේ. සෑම ආණ්ඩුවක්ම ගම ඉලක්ක කරගත් වැඩ සටහන් ක්‍රියාත්මක කළ බව ද සත්‍යයකි. මේ නිසා ගම නගාසිටුවීම නැති නම් ගම හදා රට හැදීම සෑම රජයකම සංවර්ධනයේ මූලික කාර්යය වී තිබුණි. මේ නිසා මීට වසර 25කට පෙර පැවති ගම් ඒ අයුරින්ම අද දක්නට නොලැබේ. මින් අදහස් කරන්නේ ගම එදාට වඩා අද ඉදිරියට පැමිණ තිබෙන බවයි. මීට ග්‍රාමෝදය, ගම්උදාව, ජනසවිය, සමෘද්ධි ආදී විශේෂ ව්‍යාපෘති මෙන්ම රේඛීය අමාත්‍යාංශ හා පළාත් සභා අරමුදල් ද ගමේ සංවර්ධනයට යොදවනු ලැබීය. එහෙත් මේ කිසිවකින් තවමත් ගමේ සංවර්ධනය හා ග්‍රාමීය ජනතාවගේ දුප්පත්කම පිළිබඳ ප්‍රශ්නයට තිරසාර විසඳුම් ලැබුණා ද යන්න ප්‍රශ්නයකි.

ගමේ සංවර්ධනය යනු මොනවා හෝ වැඩ කීපයක් ඉටුවීම නොවේ. ඒවා ඉදිරියේ අහවල් මැති ඇමැතිවරුන්ගේ සංකල්ප පුවරු ඉදිවීමෙන් පමණක් එම සංවර්ධනය සම්පූර්ණ නොවේ. එහෙත් එදාට වඩා සාපේක්ෂව පාරවල්, ජල හා විදුලිය පහසුකම්, ගමනාගමන ආදී මූලික යටිතල පහසුකම් ගමට ලැබී තිබේ. සමහර රාජ්‍ය හා රාජ්‍ය අනුග්‍රහය ලබන ව්‍යාපෘතිවල පවතින නාස්තිය, දූෂණය හා අක්‍රමිකතාවන් නොවන්නට මීට වඩා වැඩ කොටසක් පොදුවේ ගම වෙනුවෙන් ඉටුවීමට ඉඩ තිබුණි.

අද ග්‍රාමීය සංවර්ධනයේ දක්නට ලැබෙන විශේෂත්වය නම් අදාළ රාජ්‍ය මුදලින් යම් ප්‍රතිශතයක් නිලධාරීන් හා සමහර ප්‍රාදේශීය දේශපාලනඥයන් ගේ සාක්කුවට යෑමෙන් තොරව ගෙඩිය පිටින් ගමට නොයෑමයි. එහෙත් ‘ගම’ මේ රටේ දේශපාලනය කරන අයටත්, ආණ්ඩුවට හා විපක්ෂයටත්, රටේ ආර්ථික සංවර්ධනයටත් වැඩදායකය. මේ නිසා ග්‍රාමීය සංවර්ධනය හා ගැමි ජනතාවගේ ප්‍රශ්න අමතක කර ආණ්ඩු කිරීමට හෝ දේශපාලනය කිරීමට කිසිවෙක් සූදානම් නොවේ.

නිලධාරිවාදය

ප්‍රශ්නය වී තිබෙන්නේ විවිධ රජයන්, ක්‍රියාත්මක කරනු ලබන විවිධ ව්‍යාපෘති හරහා ගමට පොම්ප කරන ලද මුදල් දෙස බලනවිට ගමේ සංවර්ධනය මීට වඩා ඉහළ තැනක නොතිබීමය. ඊට නිලධාරිවාදය එක් හේතුවකි. පසුවිපරමක් නොමැතිකම තවත් හේතුවකි. මීට අමතරව ඉහළ සිට පහළට සිදුවන ගසාකෑම තවත් හේතුවකි.

විශේෂයෙන් ගමේ ප්‍රාදේශීය සභා නියෝජිතයන් මගින් පාරවල් සඳහා යට කළ මුදල් මීට හොඳම නිදසුනකි. අනියමින් මේවායේ කොන්ත්‍රාත්වලින් ගසාකන සමහර ප්‍රාදේශීය සභා නියෝජිතවරු ගමේ අලුත් ධනපතියන් බවට පත්ව සිටීම කවුරුත් පිළිගන්නා සත්‍යයකි. එදා ගමේ පාරට යැවිය යුතු මුළු මුදලින් කොටසක් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ පොකැට්ටුවට ගියේ කවුරුත් දැනුවත්ව වාගේය. අහිංසක ගැමියන්ට ඊට විරුද්ධ වීමට මාර්ගයක් නොවීය.

එසේම ගමේ පාරේ ප්‍රශ්නයට, විදුලිය ලබා ගැනීමට හා පානීය ජලය සපයා ගැනීම වැනි කාරණා තනි තනිව ඉටුකරගත නොහැකිය. ප්‍රාදේශීය වශයෙන් පළාත් පාලන ආයතන හා රටක් වශයෙන් ආණ්ඩුවක් ඕනෑ කරන්නේ මෙසේ තනිතනිව විසඳාගත නොහැකි ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහාය. ගම හා රට බාර දෙන සමහරු ගසාකන්නේ ගැමි ජනතාවගේ මෙම අවශ්‍යතා ඉටුකර දීමේ මුවාවෙනි. ඔවුහු ජනතා සේවය ජනතා මුදලින් කොටසක් ගසාකෑමේ ව්‍යාපෘතියක් බවට පත්කර ගෙන සිටී.

වෙන විදිහකින් පොදුවේ දේශපාලනය කියන්නේ මෙයම දැයි හැඟෙන තරමටම අද කරුණු කාරණා සිදුවෙමින් පවතී.

2015 ජනවාරි 8 වැනිදා සිට ගණන් බලනවිට වර්තමාන රජයේ ආයු කාලය දැන් වසර 3 1/2ක් පමණ වේ. මේ කාල පරාසය තුළ විවිධ ව්‍යාපෘති මගින් ගම හා ගමේ මිනිසා නගාසිටුවීමට රජය කටයුතු කර තිබේ. එය පිළිගත යුතුය. අඩුපාඩු ඇතත් විවිධ යෝජනා ක්‍රම, අමාත්‍යාංශ හා පළාත් සභා ඇසුරින් ගමට මුදල් නොගියාය කියා කිසිවකුට කිව නොහැකිය. එහෙත් රාත්‍රී කාලයේ රූපවාහිනිය නරඹන විට විවිධ ගුවන්විදුලි නාලිකාවලට සවන් දෙන විට සමහර තැනක ගමේ සංවර්ධනය ඉදිරියට ගමන් නොකරන බවක් හා යටිතල පහසුකම්වලට අදාළ ගමේ පොදු ප්‍රශ්න නොවිසඳී ඇදි ඇදී ඉදිරියට ගමන් කරන බවක් දක්නට ලැබේ.

වැඩවසම් සම්ප්‍රදාය

තවමත් සමහර තැන්වල පාසල් ළමුන් වැඩිහිටියන් හා වයස ඇත්තෝ ගංගා හරහා ගමන් කරන්නේ ඒදඬු ඔස්සේය. පාසල් ළමුන් පොත් බෑග් හිස මත තබාගෙන ඇඳුම් තෙමාගෙන ගංගා තරණය කරන දසුන් දක්නට ලැබේ. ගමේ සමහර පාරවල් වතුර ගලන ඇළ මාර්ගවලට සමානය. බාගෙට ඉදිකරන ලද වැල්පාලම හෝ කොන්ක්‍රීට් පාලමේ වැඩ අතරමග නතර කළ දින, සති, මාස නොව වසර ගණන් කල්ගතවී තිබේ. මේවා ගැන සොයන්න බලන්න, කියන්න වගකිවයුතු කෙනෙක් නැත. මැතිවරණ සමයේ පොරොන්දු දී යන දේශපාලනඥයන් නැවත හමුවන්නේ තවත් මැතිවරණයකදී. මේවා අදාළ ප්‍රදේශවල ජනතාවම විද්යුත් මාධ්‍යවලට කියන කතා මිස මාධ්‍ය මගින් ගොතන නවකතා නොවේ. සමහර දේශපාලනඥයන් මේවා මාධ්‍ය මඟින් පෙන්වා දෙනවාටවත් කැමැති නැත.

අඩුම ගානේ මාධ්‍ය මඟින් පෙන්වා දෙන ගමේ අඩුපාඩු ගැනවත් සමහර නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ තැකීමක් නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ගම හදන ගමන’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කළේ මීට පිළියමක් ලෙසින් බව පෙනේ. වසර 3 1/2ක මේ ආණ්ඩුවේ රාජ්‍ය සමය තුළ ද නොවිසඳී ඇති ගමේ ප්‍රශ්න සොයා ජනාධිපතිවරයා අදාළ ගමටම යෑමට සූදානම් වේ. එහිදී කෙළින් එතුමා ගැමියෝ මුණගැසෙති. ප්‍රශ්නය ඔවුන්ගේ මුවින්ම අසා දැන ගැනීමට එතුමා සූදානමින් සිටී.

මෙය සාකච්ඡාමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් සේ සැලකේ. බැරිමතැන රාජ්‍ය නායකයා ජනතාව අතරට ගොස් ප්‍රශ්න ගැන සොයාබලා විසඳුම් ඉදිරිපත් කිරීම මෙම වැඩසටහනට අයත් ප්‍රමුඛ කාර්යයි.

පැරණි රජ දවස රාජ්‍ය නායකයා ගම්දනව්වල සැරිසැරුවේ වෙස්වළාගෙනය. එහිදී තම දුක කීවේ රජු දැන හැඳිනගෙන නොවේ. එතැන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් නොතිබුණි. එහි පැවතියේ ජනතාවගේ ප්‍රශ්න දැනහඳුනාගන්නා වැඩවසම් සම්ප්‍රදායකි. එහිදී රජුට ජනතාව සිතන පතන ආකාරයේ නාඩි හඳුනා ගැනීමට හැකිවේ. එහෙත් තමා කවුරුන්දැයි නොදැන සෘජුව හා ආරංචි මාර්ගවලින් ප්‍රශ්න ඉදිරිපත් කරන ගැමියා වෙනුවෙන් රජුට පිහිටවීමට සිදුවන්නේ රජ වාසලට ගොස් වෙනත් දිනකය. එහෙත් වර්තමානයේ ජනතාව තෝරා පත්කරගනු ලබන රාජ්‍ය නායකයා ජනතාව අතරට යන්නේ අදාළ කාර්ය මණ්ඩලවලට අයත් ප්‍රධානීන් ද සමඟිනි. යම් ප්‍රධානියෙක් එතැන නොසිටී නම් ඔහු සමඟ ඒ මොහොතේම දුරකතනයෙන් කතාකර ප්‍රශ්න විසඳා ගන්නා පහසුකම් ජනාධිපති කාර්ය මණ්ඩලය සතුව ඇත.

මෙහිදී ප්‍රතිපත්තිමය ප්‍රශ්න, පොදු ප්‍රශ්නවලට අමතරව පෞද්ගලිකවම තම ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට ගමේ නියෝජිතයනට අවස්ථාව සැලසේ.

ගම්සභා ආකෘතිය

‘ගම හදන ගමන’ ප්‍රථම වැඩසටහන අද පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව මැදගොඩ ග්‍රාමයෙන් ඇරඹීමට නියමිතය. පැරණි ගම්සභා ආකෘතියට සමීප මෙම වැඩ සටහනට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින අදාළ ගමේ ගම්මැද්දේදී ජනතාව මුණගැසීමට සූදානමින් සිටී. මෛත්‍රී වැනි නායකයකුට මෙය අරුම පුදුම අපූරු හමුවක් නොවනු ඇත. නියරේ, ලන්දේ, බඩවැටියේ, ගමේ ගුරු පාරේ ඇවිද පුරුදු ඔහුට මෙය කිසිදු අලුත් අත්දැකීමක් නොවනු ඇත. ගමට අදාළ ප්‍රශ්න පිළිබඳ සිය භාවිතාවෙන්ම මනා අවබෝධයක් ඇති ඔහුට ඉදිරිපත් වන ප්‍රශ්න ගැන ද විශේෂත්වයක් නොපවතිනු ඇත. වැදගත් වන්නේ අදාළ අමාත්‍යාංශවල හා පුත්තලම් දිස්ත්‍රික්කයේ නිලධාරීන් ලවා ඒ මොහොතේම ප්‍රශ්නවලට විසඳුම් දීමට ජනාධිපතිවරයා ඉදිරිපත් වීමය. පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නියෝජිතයෝ තමන්ට ඇති ප්‍රශ්න සමඟ මීට සහභාගි වීමට නියමිතය. මේ නිසා ‘ගම හදන ගමන’ ජනාධිපති ග්‍රාම චාරිකාව ගමේ තවමත් නොවිසඳී ඇති ප්‍රශ්නවලට කරනු ලබන අලුත් ආමන්ත්‍රණයක් මෙන්ම රාජ්‍ය නායකයාගේ පෞද්ගලික මැදිහත්වීමෙන්ම විසඳුම් ලබාදෙන ප්‍රායෝගික ජනතාවාදී ව්‍යාපෘතියක් වනු ඇත.

නව අදහස දක්වන්න