ලොක්කන් එක් කළ සැන්ටොයා දූපත | දිනමිණ

ලොක්කන් එක් කළ සැන්ටොයා දූපත

මංජුලා විජයරත්න

මුළු මහත් ලෝකයාගේම අවධානයට පාත්‍ර වූ ඇමෙරිකා - උතුරු කොරියා නායක හමුව සිදුවූයේ සිංගපූරුවේ සෙන්ටොසා දූපතෙහිදී ය. ඩොනල්ඩ් ට්‍රම්ප් - කිම් ජොන්ග් උන් කතා බහේ සාරය උරා ගන්නට වැඩි අවධානයක් යොමු කළ මාධ්‍යයට සෙන්ටොසා දූපත බොහෝ දුරට අමතකව ගොස් තිබිණ.

සිංගපූරු ප්‍රධාන භූමියට දකුණෙන් කිලෝමීටරයක් තරම් ඈතින් පිහිටි මේ දූපත වර්ග කිලෝමීටර පහක සරියකින් යුත් සංචාරක ආකර්ෂණයට ලෝ ප්‍රකට තැනෙකි. දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ඓතිහාසික වටිනාකම් රැසක්, සොබා දහමේ අමිල වත්කම් විශාල ප්‍රමාණයක් පමණක් නොව හොඳ පරෙස්සමෙන් එකතු කළ ගෘහ නිර්මාණ කිහිපයකිනුත් මේ දූපත සමන්විතය. ඉතිහාසගත ඇමෙරිකා - උතුරු කොරියා නායක හමුව සඳහා ඇමෙරිකාවේ ධවල මන්දිරය සෙන්ටොසා දූපතම තෝරා ගන්නට ඇත්තේ මේ අපරිමිත ආකර්ෂණීය බව නිසා වන්නට ඇත.

ඈත අතීතයේදී සෙන්ටොසා දූපත හැඳින්වුණේ “බ්ලැකන් මැටි” යනුවෙනි. දූපත හඳුනාගෙන එය එනමින් නම් කළේ 1604දී මැනුවෙල් ගොඩින්හෝ ඩි එරෙඩියා නමැති මැලේ - පෘතුගීසි සම්භවයක් ඇති සිතියම් ශිල්පියා ය. එයින් පසු අවස්ථා රැසකදී මේ දූපතෙහි නම වෙනස් වූ බව සඳහන් වේ. “පුලව් පන්ජැන්ග්”, “බ්ලැකෙන්ග් මැටි”, “ශාන්ත ජෝර්ජ්” යනු ඒ අතර වඩාත් ප්‍රකට වූ නම් කිහිපයකි. සෙන්ටොසා යන නම භාවිතයට ගැනෙන්නට පළමුව දූපත හැඳින්වුණේ “පුලව් බ්ලැකෙන්ග් මැටි” යනුවෙනි. මැලේ බසින් එහි අරුත “මරණය පසුපස ඇති දූව” යන්නයි. සොබා දහමේ ආශ්චර්යමත් නිර්මාණයක් වූ මේ දූපත හඳුන්වන්නට එවැනි රළු නමක් යෙදුණේ හේතු කිහිපයක් නිසයි. එහිලා වඩාත් කැපී පෙනෙන්නේ දූපත ආශ්‍රිතව සිදුවුණු මුහුදු මංකොල්ලකෑම් සහ ඒ නිසාම සිදුවුණු මනුෂ්‍ය ඝාතනයන් ය. සෙන්ටොසා දූපතට ආසන්නයෙන් ඇති පුලව් බ්‍රානි දූපතේ මිහිදන් කෙරුණු රණකාමීන්ගේ අවතාරවලට සෙන්ටොසා දූපත පාරාදීසයක් වී යැයි කියා තවත් තැනෙක දැක්වේ. තවත් සටහනක දැක්වෙන පරිදි දූපතේ පදිංචිකරුවන් විශාල පිරිසක් එක්දහස් අටසිය හතලිස් ගණන්වලදී හටගත් වසංගත තත්ත්වයකින් මරුමුවට පත්ව ඇත. දූපත “මරණය පසුපස ඇති දූව” වශයෙන් හැඳින්වෙන්නට එයත් හේතුවක් විණ. දූපතෙහි පිහිටි කඳු ගැට ආශ්‍රිත පස ඉතාමත් නිසරු තත්ත්වයකින් පවතින නිසා පළමුව කී නම ඊට පටබැඳුණු බවටත් මතයක් තිබේ.

භීත රසය ජනනය කරන “මරණය පසුපස ඇති දූව” යන නම වෙනස් වන්නේ මේ දූපත සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගතයුතුය යන යෝජනාව 1972 දී මතුවීමත් සමඟයි. එකී යෝජනාව කෙරුණේ සිංගපූරු සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයෙනි. මැලේ බසින් “ශාන්ත සහ නිසංසල බවින් යුක්ත” යන අරුත දෙන සෙන්ටොසා යන නමින් දූපත හැඳින්වෙන්නට පටන් ගත්තේ ඒ අනුවය. සංස්කෘත බසින් එහි අර්ථය “සංතෝෂය” වීම යන්නයි.

සිංගපූරුවට අයත් කෙපෙල් වරායෙහි ආරක්ෂාව ගැන කතා කරනවිට සැන්ටොස් දූපත කවර කලෙකත් බෙහෙවින්ම වැදගත් ස්ථානයක් වූයේය. වරාය කටයුතු පුළුල් කිරීමත් සමඟම වාරයෙහි ගල් අඟුරු ගබඩා කිරීම පුළුල් කෙරිණ. එසේ ගබඩා කෙරුණු ගල් අඟුරු තොගවලට සතුරු ප්‍රහාර එල්ලවීම වළක්වන්නට ආරක්ෂක විධි විධාන තර කළ යුතු වූයේය. ඒ පදනම මත ගොඩනැඟූ ආරක්ෂක සැලසුම් සෑම එකකටම සැන්ටොස් දූපතත් අතීතයේ සිටම ඇතුළත් විණ. සිලොසෝ, සෙරපොන්ග් සහ කොන්නවුට් වැනි බලකොටු දූපතෙහි ඉඳිකෙරුණේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ තත්ත්වය යටතේ එක්දහස් නවසිය තිස් ගණන් වන විට රාජකීය හමුදා කාලතුවක්කු කඳවුරක් ලෙසත් දූපත භාවිතයට ගැනෙන්නට විය. දෙවන ලෝක යුද සමය වනවිට මේ තත්ත්වය වැඩි දියුණු වූයේ යැයි කිවහොත් වරදක් නැත. සෙන්ටොසා දූපත එකල බ්‍රිතාන්‍ය හමුදා බලකොටුවක් බවට පෙරළී තිබිණ. එසේ වුවත් සිංගපූරුවට අයත් ප්‍රදේශ ජපනුන් අත පැවැති සමයේදී ජපනුන්ට එරෙහිව කටයුතු කළ චීනුන් මේ බිමේදී මරා දැමුණු බවට සාක්ෂි ඇත. ජපනුන් අතින් එසේ මැරුම් කෑ චීනුන් 300කගේ දේහ සෙන්ටොස් දූපත ආශ්‍රිත වෙරළ තීරයට වරක් ගොඩගසා තිබුණු බව සඳහන් වේ. වෙඩි තබා ඝාතනය කර තිබුණු ඒ මිනිසුන්ගේ දේහ භූමදානය කළේ ජපනුන් මේ දූපත තුළ සිරකරුවන් හැටියට රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියානු ජාතික සිරකරුවන් ය. සිංගපූරුව 1945දී ජපනුන්ගෙන් ඉංග්‍රීසීන් වෙත භාර කෙරිණ. ඉන්පසු රාජකීය කාලතුවක්කු හමුදාවේ පළමු සිංගප්පූරු රෙජිමේන්තුව 1947දී එහි ස්ථාපනය කෙරිණ. බ්‍රිතාන්‍ය හමුදා, සැන්ටොස් දූපත හමුදා අභ්‍යාස සඳහා ඉන්පසු භාවිතයට ගැණින. දූපත විවිධ ගණයේ හමුදාමය කටයුතුවලට භාවිත වීම එක්දහස් නවසිය හැට ගණන් අගභාගය දක්වාම දක්නට ලැබිණ.

සෙන්ටොසා දූපත රමණීය තැනක් බවට පත් කෙරුණේ 1972 වසරෙන් පසුවයි. සිංගපූරු ඩොලර් මිලියන 420ක පෞද්ගලික ආයෝජන සහ සිංගපූරු ඩොලර් මිලියන 500ක රජයේ ආධාර යොදාගෙන සැන්ටොසා දූපත සංවර්ධනය කිරීම ආරම්භ වූයේ සිංගපූරු රජයේ මැදිහත් වීම යටතේය. 1974දී එහි කේබල් කාර් පද්ධතියක් ස්ථාපනය කරන ලදී. සිලොසෝ සහ තවත් බලකොටු, සරෙන්ඩර් චේම්බර් කෞතුකාගාරය, 'මියුසිකල් ෆවුන්ටන්', 'අන්ඩර්වෝටර් වර්ල්ඩ්' ආදී ස්ථාන සංචාරක විනෝදාස්වාදය පිණිස වැඩි දියුණු කෙරිණ. සෙන්ටොසා මොනොරේල් පද්ධතිය ස්ථාපනය කිරීමත් සමඟ සංචාරකයන්ට දූපත වටා සංචාරය කිරීම තවත් පහසු වූයේය. සංචාරකයන්ට ක්‍රීඩා කිරීම සඳහා ක්‍රීඩා පිටි ආදියත් දූපතෙහි ස්ථාපිතය.

අද මේ වනවිට දූපත තුළ තරු පන්තියේ සුපිරි හෝටල් 14ක් ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග් උන් හමුවුණු 'කැපෙල්ලා හෝටලය' ඒ සුඛෝපභෝගී හෝටල 14න් එකකි. අක්කර තිහක භූමියක් පුරා පැතිර ඇති කැපෙල්ලා හෝටලය සංචාරකයන් මවිත කරවන තරමේ පහසුකම්වලින් සමන්විත හෝටලයකි.

“මරණය පසුපස ඇති දූව” හැටියට එදා හැඳින්වුණු සෙන්ටොසා දූපත අද මිනිස් සිත සන්තෝෂයෙන් පුරවාලන බිමක් වී ඇත. ගිනියම් වූ දේශපාලනය මැද ලෝකය දෙකෙළවරකට වී නොසන්සුන් මනැසින් නෝක්කාඩු කතා කියා ගත් නායකයන් දෙපල සැන්ටොස්හි මේ ආශ්චර්ය යම් පමණකටවත් වින්ඳාට සැකයක් නැත.

නව අදහස දක්වන්න