125 වැනි සංවත්සරය සමරන මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය | දිනමිණ

125 වැනි සංවත්සරය සමරන මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය

පරිවේනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි

පුරා වසර 125ක කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු පළාතේ මිණි පහනක් බඳු වූ මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය මාතර අධ්‍යාපන කලාපයේ ඉහළින්ම වැජඹෙන, සැමගේ ගෞරවාදරයට පාත්‍ර වූ විද්‍යායතනයකි. මාතර පුරවරයට පමණක් නොව මාතර දිස්ත්‍රික්කයට, දකුණු පළාතට මෙන්ම මුළු මහත් මාතෘ භූමියටම යහගුණ, නැණ කුසලතා සපිරි අභිමානවත් ගිහි පැවිදි සිසුන් දහස් ගණනක් බිහි කරනු ලබන මේ විද්‍යායතනය ආරම්භ කර මේ මස 23 වැනි දිනට වසර 125ක් සපිරේ.

බැදිගම සිරි රතනපාල හිමි විසින් 1893 ජුනි මස 23 වැනි දින සුබ මොහොතින් 'මහා මන්තින්ද' නමින් මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය ආරම්භ කරන ලදි.

මේ පිරිවෙන් විද්‍යායතනයේ ප්‍රථම පැවිදි සිසුන් වශයෙන් අධ්‍යාපනය හදාරා ඇත්තේ උයන්වත්තේ ගුණරතන හිමි සහ අතුරලියේ පියරතන හිමිය. ගිහි ශිෂ්‍යයා වූයේ බටුවිට පඬිතුමා නමින් පසුව ප්‍රකට වූ ඩී. පී. අභයගුණරත්න මහතාය. එම වකවානුවේ බැදිගම සිරි රතනපාල හිමි වාදීභසිංහ යන ගෞරව නාමයෙන් ද පිදුම් ලැබූහ. බැදිගම නාහිමිගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වූයේ බඹරැන්දේ ධම්මාවාස නාහිමිය. උන් වහන්සේ ධර්මධර, විනයධර මහා පඬිරුවනකි. පරවාහැර සිරි රේවත, වල්ගම හේමාලෝක නාහිමි ඇතුළු ගිහි පැවිදි විශාල සිසු පිරිසක් රටට දායාද කළ බැදිගම නාහිමි 1917 දෙසැම්බර් මස 11 වැනි දින අපවත්වීමෙන් පසුව බඹරැන්දේ ධම්මාවාස නාහිමි විසින් විද්‍යායතනයේ ප්‍රධානත්වය භාරගෙන ප්‍රගතිය කරාගෙන ගියහ. බඹරැන්දේ ධම්මාවාස නාහිමිගේ ප්‍රධානතම ශිෂ්‍යවරයන් වහන්සේලා අතර කඹුරුපිටියේ බෝධිගුත්ත නාහිමි ප්‍රධාන වේ.

1949 අගෝස්තු මස 28 වැනි දින ධම්මාවාස නාහිමි අපවත්වීමෙන් පසු බෝධිගුත්ත නාහිමි විහාරාධිපති ධුරයටත් පරිවේනාධ්‍යක්ෂ ධූරයටත් පත් විය. මේ වකවානුවේ සිදු වූ වැදගත්ම සිදුවීම වූයේ 1947 පිරිවෙන් පනත අනුව පිරිවෙන් අධ්‍යාපනය මූලික සහ උසස් අධ්‍යාපනය ලෙස වර්ග කර එතෙක් පැවති උපරිම පිරිවෙන් ක්‍රමය සමඟ 1951 මැයි මස 03 වැනි දින මූලික පිරිවෙන ද මේ විද්‍යායතනයේ ආරම්භ වීමයි. ඒ අනුව කඹුරුපිටියේ බෝධිගුත්ත නාහිමිගේ අදහස් හා එවකට පරිවේනාධිපති ධූරය දැරූ රාජකීය පණ්ඩිත දෙනගම පියතිස්ස නාහිමිගේ මඟපෙන්වීම යටතේ ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන, සිංහල, ජ්‍යෙෂ්ඨ, ඉංග්‍රීසි, නොතාරිස්, අවසාන ගුරු විභාගය, ලිපිකාර විභාග ඇතුළු විෂය ක්ෂේත්‍ර ගණනාවකම දැනුම බෙදා දෙන මන්තින්ද විද්‍යායතනය දකුණේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක් බවට පත් විය.

1970 දශකය වන විට එවකට විහාරාධිපතිව වැඩ සිටි කඹුරුපිටියේ බෝධිගුත්ත නාහිමි පිරිවෙන් විද්‍යායතනයේ ගොඩනඟා භික්ෂු අධ්‍යාපනය ඉතා ඉහළ මට්ටමකට ගෙන ඒමට ඉතා විශාල මෙහෙයක් සිදු කරන ලදී. උන් වහන්සේගේ පැවිදි ශිෂ්‍යවරයන් ලෙස ශාස්ත්‍රාචාර්ය ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමි, කනුමුල්දෙනියේ ධම්මාශෝක නාහිමි, ශාස්ත්‍රාචාර්ය බඹරැන්දේ ධම්මතිලක නාහිමි, බඹරැන්දේ ධම්මසිරි මාහිමි, මහාචාර්ය නායිම්බල ධම්මදස්සී නාහිමි ඇතුළු තවත් ගිහි පැවිදි විශාල ශිෂ්‍ය පිරිසක් වූහ.

එම අතරතුර 1973 සිට ගැටමාන්නේ ධම්මකිත්ති හිමි මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්යවරයකු වශයෙන් ගුරු සේවාවට එකතු විය. උන් වහනසේගේ සේවා කාලයේ මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයට අලුතින් අංශ කිහිපයක් එකතු කර ගනිමින් විප්ලවීය වෙනසක් සිදු කිරීමට සමත් වූ බැවින් එම කාලය මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ ස්වර්ණමය යුගය ලෙස ද හඳුන්වා දිය හැකිය. එලෙස අලුතෙන් ව්‍යාප්ත වූ අංශ අතර මන්තින්ද පිරිවෙන, අනුර විද්‍යාලය ප්‍රාථමික, අනුර විද්‍යාලය ද්විතීක, මන්තින්ද ආයුර්වේද විදුහල, වෘත්තිය පුහුණු පාසල, මිගදාය සිරි රතනපාල පිරිවෙන, මිගදාය උසස් අධ්‍යාපන ආයතනය ඉන් කිහිපයක් පමණි.

එලෙස මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය ආ ගමන් මඟේ 1987 කඹුරුපිටියේ සිරි බෝධිගුත්ත නාහිමි අපවත්වීමෙන් පසුව ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමි විහාරාධිපති ධුරයට පත් වූහ. එම කාල වකවානුවේ පිරිවෙන් විද්‍යායතනය ඇතුළු සියලුම අනුබද්ධ අධ්‍යාපන ආයතනවල නවතම ප්‍රබෝධයක් ඇති කිරීමට ධම්මකිත්ති හිමිගේ නායකත්වය මහඟු පිටුවහලක් වූහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මාතර දිස්ත්‍රික්කයේ සෙසු පාසල් අබිබවා යමින් විශිෂ්ට ප්‍රතිඵල ලබාදීම හේතුවෙන් මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය 2011 ජනවාරි මස 11 වැනි දින මහා පිරිවෙනක තත්ත්වයට උසස් විය.

ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමිගේ සේවා කාලයේ මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ සුවිශාල වෙනස්කම් රැසක් එක් කරමින් විශේෂ අවස්ථා රැසක් ක්‍රියාවට නංවා තිබුණි. වර්තමානයේ මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය හා ඊට අනුබද්ධ අනුර විද්‍යාලය ඇතුළු සෙසු ආයතනවල ගිහි පැවිදි සිසු දරු දැරියන් දහසකට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන අතර මේ වන විට ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද සේවය කරනු ලබන දකුණේ ප්‍රමුඛතම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වශයෙන් ඉහළින්ම වැජඹේ.

මෙලෙස ස්වර්ණමය යුගය සනිටුහන් කළ ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමි 2016 ජුනි මස 20 වැනි දින අපවත් වූහ. ගැටමාන්නේ ධම්මකිත්ති නාහිමිගේ අපවත්වීමෙන් පසුව එහි භාරදූර වගකීම භාරගෙන කටයුතු කරනු ලබන්නේ මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ වත්මන් පරිවේණාධිපති හා විහාරාධිපති මාතර කොටුව මිගදාය ධර්මායතනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි විසිනි. උන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනය භෞතික සම්පත්වලින් මෙන්ම මානව සම්පත්වලින් ද විශාල ප්‍රගතියක් අත් කර ගනිමින් සිටිති.

1893 වසරේ ආරම්භ කරන ලද මේ විද්‍යායතනය එදා මෙදා තුර ආ ගමන් මඟේ තවත් පුබුදුවාලමින් ඉදිරියට තවත් සියවස් ගණනාවක් ආයතන පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු සලසමින් සිටී. මේ මස 23 වැනි දිනට යෙදෙන 125 වන සංවත්සර සමරුව නිමිත්තෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇත්තේ එහි මූලාරම්භයක් වශයෙන් බව ප්‍රකාශ කළ හැකිය.

මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ වත්මන් පරිවේනාධිපති හා විහාරාධිපති මාතර කොටුව මිගදාය ධර්මායතනාධිපති ගෞරව ශාස්ත්‍රවේදී තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි පැවිදි බිමට ඇතුළත් වන්නේ 1993 ජුනි මස 23 වැනි දිනය. ඒ මන්තින්ද විද්‍යාතනයට වසර 100ක් පිරීම නිමිත්තෙනි. 125 වන සංවත්සරය සමරන මේ මොහොතේ ඉන්දානන්ද හිමි පැවිදි දිවියේ 25 වැනි සැමරුම ද ඒ හා සමගාමීව යෙදී තිබීම විශේෂත්වයකි.

මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයට 125 වැනි සංවත්සරය පිරීම නිමිත්තෙන් අද (20) සිට 23 වැනි දින දක්වා 'මැතිඳු අභිමන්' නමින් විශේෂිත වූ ආගමික කටයුතුවලට මුල්තැන දෙමින් බෝධි පූජා, පිරිත් සහ දානමය පිංකම්, ප්‍රදර්ශන, ප්‍රසාංගික වැඩසටහන්, අධ්‍යාපනය වැඩසටහන් පැවැත්වේ. 23 වැනි සෙනසුරාදා මාතර බෝ සමිඳුන් අබියස දී පෙරවරු 7.00ට පමණ කුල දරුවන් සියයක් පැවිදි කිරීමේ මහා පිංකම සහ එදින දහවල් තුන්සියය නමක් මහ සඟරුවන විෂයයෙහි පිරිනමනු ලබන දහවල් දානමය පිංකම ඇතුළු වැඩසටහන් රැසක් ද පැවැත්වීමට වත්මන් විහාරාධිපති හා පරිවේනාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද හිමි ඇතුළු සංවිධායක මණ්ඩලය අවශ්‍ය කටයුතු යොදා තිබේ.

125 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් රාජ්‍ය අනුග්‍රහය නිරන්තරයෙන් ලැබී ඇති අතර විශේෂයෙන් එහි ප්‍රධාන ගිහි අනුශාසක වශයෙන් ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා කටයුතු කරනු ලබයි. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල පිරිසකගේ දායකත්වය මේ සංවත්සර සමරු වැඩසටහනට නොඅඩුව ලැබී තිබේ .125 වැනි සංවත්සරයේ ප්‍රධාන දිනය යෙදී තිබෙන 23 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තිය ද සිදුවීමට නියමිතව ඇත.




දෙයියන්දර සමූහ
තමරසිරි විජේසේකර සහ උෟරුබොක්ක සමූහ ජයන්ත සේසිරි

නව අදහස දක්වන්න