ශූරයන්ගේ පහස ලබන පාපන්දු කුසලානයේ සැබෑ හිමිකාරයා | දිනමිණ

ශූරයන්ගේ පහස ලබන පාපන්දු කුසලානයේ සැබෑ හිමිකාරයා

වසර 1971දී පාපන්දු ලෝක කුසලානයේ සංවිධායකයන්ට තමන්ගේම කියා කුසලානයක මදිපාඩුව දැනෙන්නට විය. පේලේ ඇතුළු බ්‍රසීල සගයන් තුන්වැනි වතාවටත් පාපන්දු ලෝක කුසලානය දිනාගත්තේ ඊට වසරකට පෙරය. එහි තේරුම කුසලානයේ නිත්‍ය අයිතිකරුවන් ලෙස බ්‍රසීලයට එය සදහටම හිමිවූ බවය. බ්‍රසීල පිලේ නායක කාලෝස් ඇල්බෙර්ටෝ මෙක්සිකෝ නගරයේ ඇස්ටිකා ස්ටේඩියම් හී දී කුසලානය හිමිකර ගැනීමෙන් පසුව තරග සංවිධායකයන්ට ඊට අත තැබීමටවත් නොහැකිවිය.

ඒ කුසලානය අඟල් 14ක් උසැති එකක් විය. රන් ආලේපිත නයික් සමාගමේ නිමැවුමකි. එය නම් කර තිබුණේ පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ නිර්මාතෘවරයා වූ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජුලෙස් රිමෙට්ගේ නමිනි. මුලින්ම තරගාවලිය පැවැති 1930දී එය උරුගුවේ පිලට පිරිනැමුණු අතර ඊට පසුව ඉතාලිය 1934 දී සහ 1938දී පිට පිට එය අත්කරගත්තේය. අනතුරුව දෙවැනි ලෝක මහා යුද්ධය ආරම්භ වීමෙන් පසුව එය ඉතා රහසිගතව එය සපත්තු බහාලන පෙට්ටියක අසුරා තැබුවේ ජර්මානු නාසිවරුන් අතට පත් නොවීමටය.

කෙසේ වුවත් 1966 එංගලන්තයේ පැවැති තරගාවලියට මාස කිහිපයකට පෙර එය ලන්ඩන් නුවරදී කිසිවකු විසින් සොරාගනු ලැබුව පසුව සොයා ගත්තේ පික්ල්ස් නැමැති බලු සුරතලාය. එය එකළ ජාත්‍යන්තර අවධානය දිනාගත් සිදුවීමක් විය. මේ අවාසනාවන්ත කුසලානය ඉන් පසුව බ්‍රසීලයට සදහටම අයිතිවූවත් 1983දී එරට පාපන්දු සංගම් මූලස්ථානයේ තිබියදී කිසිවකු විසින් සොරාගනු ලැබුවේය. එය තවමත් හමුවී නැත.

නව කුසලානය නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මතුවීමෙන් පසුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට රටවල් හතකින් නිර්මාණ 53ක්ම ඉදිරිපත් විය. එහෙත් ඔවුන්ගේ සිත් ගත්තේ ඉතාලියේ මිලාන් නගරයේ පදිංචිව සිටි සිල්වියෝ ගසානිගා නමැති පනස් හැවිරිදි කලා ශිල්පියාගේ නිර්මාණයයි.

කුසලාන නිර්මාණයට උපන් හපන්කම් කී ගසානිගාගේ ලෝක කුසලාන නිර්මාණය ඒකමතිකව තෝරාගනු ලැබුවේය.

පසුකලෙක මේ අපුරු නිර්මාණ ශිල්පියා මෙසේ කියා සිටියේය.

‘අනුමැතිය ලැබුණු විගසම මා මගේ නිර්මාණ කුටියට වැදී ඉතා ඉක්මනින්ම එය නිර්මාණය කරන්නට පටන් ගත්තා.‘

දැඩි පාපන්දු ලෝලියකු ද වූ ගසානිගාට එනිසාම පාපන්දු ලෝක කුසලානය ගැන තිබුණේ පුදුමාකාර උනන්දුවකි.

‘පළමු කුසලානය නිර්මාණය කර තිබුණේ මැණික් කැට වලින්. රූපවාහිනි යුගයේ ආරම්භයත් සමග පාපන්දු සම්මේලනයට ඕන කළේ වඩාත්ම සිත්ගන්නා සුළු හා පෙනුමැති කුසලානයක් හදාගන්නයි.‘

එනිසාම ගසානිගාට අවශ්‍ය වූයේ පැරැණි කුසලානයට වඩා වැඩි යමක් කිරිමටය. ඔහු අන්තිමේදී මේ අපුරු නිර්මාණය නිමා කළේය.

ලෝක කුසලානයේ පහළ කොටසේ වටේට ඔහු රේඛා දෙකක් ඇන්ඳේය. ඉන් ඔහු අදහස් කළේ ලෝකය ඉහළට ඔසවා තැබීමය. ක්‍රීඩාව සහ සෑම තරගයක්ම කණ්ඩායම් දෙකක් අතරේ සිදුකෙරෙන බවත් ඉන් අදහස් කළේය.

‘ශක්තිය, බලය, විශිෂ්ටත්වය, රළුබව, ජයග්‍රහණය. වේගවත් බව, සාර්ථකත්වය ආදී සියලු සාධක ඉස්මතු වන ආකාරයට අන්තිමේදී තනි මිනිසකු විසින් ලෝකයම අවදිකළ පාපන්දු ක්‍රීඩාවේ වීරයන්ට පිරිනැමෙන කුසලානය තැනුවේ එසේය. ඔහු එය පාපන්දු සම්මේලනයට ඉදිරිපත් කළේය.

ඔහුගේ නිර්මාණයෙන් පාපන්දු සම්මේලනය සෑහීමකට හා සතුටට පත්වූ බව දැනගැනීමට එකළ දැන් මෙන් දුරකතන හා ඊමේල් පහසුකම් නොතිබූ බැවින් ගසානිගාට එය දැනගැනීමට මාස ගණනාවක්ම ගතවිය.

‘මගේ නිර්මාණය ගැන මට පුදුම ආඩම්බරයක් දැනුණා. සම්මේලනය සෑහීමකට පත්වූ බව දැනගැනීමෙන් අධික සතුටකුත් ඇතිවුණා. නමුත් සැබැවින්ම මම මෙවැනි සාර්ථකත්වයක් බලාපොරොත්තු වුණේ නෑ.‘ ඔහු පසුකලෙක එසේ කීවේය.

ගසානිගාගේ කුසලාන නිර්මාණය ගැන පාපන්දු සම්මේලනය ඉතා ප්‍රමෝදයට පත්ව සිටියේය. බොහෝ යුරෝපීය පාපන්දු තරග සඳහා පිරිනැමෙන රන් හා රිදී මෝස්තරයේ කුසලාන නිර්මාණ හා සසඳද්දී මින් පිළිබිඹු වන අර්ථය ඉතා උසස් විය. එහි නිමැවුමට අනුව ප්‍රතිවාදීන් එක මිටකට ගත් ක්‍රීඩකයන් දෙදෙනකුගේ අත්ය. මුළු ලොවම එක මිටකට ගැනීමට විශිෂ්ටයෝ සමත්වන බවක් ඉන් පෙන්නුම් කෙරිණි. සූර්යයාගේ ආලෝකයෙන් මුලු විශ්වයම දීප්තිමත්ව බැබලෙන ආකාරය ඉන් පිළිබිඹු විය.

පළමු වතාවට මේ කුසලානය පිරිනමනු ලැබුවේ 1974 තරගාවලියේදීය. තරගාවලිය ජයගත් බටහිර ජර්මානු පිලේ නායක ප්‍රාන්ස් බෙකෙන්බෝර් කුසලානය අතට ගත් විගසම තම සිතෙහි ඇතිවූයේ පුදුමාකාර සතුටක් බව මේ විශිෂ්ට නිර්මාණ ශිල්පියා පසුව කියා තිබිණි.

එදා සිට අද දක්වා මේ කීර්තිමත් පාපන්දු ලෝක කුසලානය මැරඩෝනාගේ සිය සිඩෑන් දක්වා ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන් රැසකගේ පහස ලැබුවේය.

එහෙත් ඔහු කිසිදිනෙක මේ විශිෂ්ට නිර්මාණයෙන් මුදලක් ඉපැයූවේ නැත. නමුත් පාපන්දු ලෝක කුසලානය නිර්මාණය කිරීමේ කීර්තිය නිසාම තව තවත් ජාත්‍යන්තර කුසලාන නිර්මාණය කිරීමේ අවස්ථාව ඔහුට උදාවිය. අනතුරුව කවුරුත් ගසානිගා හැඳින්වූයේ ‘මිස්ටර් කප්ස්‘ නමිනි.

කැරට් 18 රත්රන්වලින් නිර්මාණය කළ අඟල් 14.5ක් උසැති මේ කුසලානය වසර හතරකට වතාවක් ජයගන්නා සියලු කණ්ඩායම්වල පහස ලැබුවත් ඔවුන්ට තම රටට ගෙනයාමට පාපන්දු සම්මේලනය ලබා දෙන්නේ එහි අනුරුවක් පමණි. නියම කුසලානය නිරන්තරයෙන්ම ජාත්‍යන්තර පාපන්දු සම්මේලයේ මූලස්ථානයේ සුරක්ෂිතව තබා ඇත්තේ වසර හතරකට වතාවක් ශූරයන් වන කණ්ඩායම අයත් රටෙහි නම එහි සලකුණු කරමිනි.

‘පාපන්දු ලෝක කුසලානය 1970දී බ්‍රසීලයට අයිතිවීමෙන් පසුව මා නැවතත් ඊට ජීවය දුන්නා. ක්‍රීඩකයන්ට එය ස්පර්ශ කළ හැකියි. එක් කණ්ඩායමකට එක් වතාවකදී හෝ දෙවතාවකදී ශූරයන් ලෙස එහි පහස ලැබිය හැකියි. ඔවුන් වාසනාවන්ත නම් තුන්වතාවක් වුණත්. ඒත් මේ ලෝක කුසලානය සදහටම මගේ. මමයි සැබෑ ජයග්‍රාහකයා.‘

මේ විශිෂ්ට නිර්මාණ ශිල්පියා අවුරුදු 95ක් ආයු වළඳා වසර 2016 ඔක්තෝබර් මස 31 වැනිදා මිලාන් නුවරදී සදහටම දෙනෙත් පියාගත්තත් ඔහුගේ නම මෙලොව පාපන්දු ක්‍රීඩාව පවතිනතුරු ජීවමානය. වසර හතරකට වතාවක් පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙද්දී ගසානිගාගේ නම යළි යළිත් ඉස්මතුවෙයි. විශ්වයේ ජනප්‍රියතම ක්‍රීඩාවේ වීරයන්ගේ පහස ලබමින් ඔහුගේ අපුරු නිර්මාණය තව තවත් ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත. ඔහුගේ නම පාපන්දු ලෝක කුසලානයටත් ඉහළින් පවතිනු ඇත.

 

සටහන

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න