ලෙඩ හොඳ කරන තැන්වලත් ලෙඩ | දිනමිණ

ලෙඩ හොඳ කරන තැන්වලත් ලෙඩ

මනුෂ්‍ය ජීවිතය යනු ඉතා කෙටි ආයු කාලයක් ඇති ජීවී කොට්ඨාසයකි. ජීවත්වන කෙටි කාලයේදී සෑම මනුස්සයෙකුගේම පරම පවිත්‍ර නිර්මල පැතුම වන්නේ නි‍රෝගී සම්පතයි.

රටකට හොඳ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජනතාවක් ලැබෙනවා යනු ඉහළම ආයෝජනයකි.

වර්තමානයේ සමස්ත ලෝකයම මුහුණදෙන ප්‍රබලම ගැටලුවක් වන්නේ බෝ නොවන රෝග හිස එසවීමය. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ එක්සත් ජාතීන්ගේ සංවිධානවල ප්‍රමුඛ අවධානය මේ සඳහා යොමු වී තිබේ.

අප රටේද දිනෙන් දින බෝනොවන රෝග සඳහා දිනකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව අතිමහත්ය. මේ තත්ත්වය මත රජය නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලබාදෙන ප්‍රාග්ධන ප්‍රමාණය ද ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

බොහෝ රෝගීන්ට තම රෝග සඳහා විවිධ පරීක්ෂණ කටයුතු කරගැනීමට සිදුවේ. රෝගීන් සඳහා බොහෝවිට රෝහල් තුළම පරීක්ෂණ කටයුතු නොමිලේ කර දෙන අතර ඇතැම් පරීක්ෂණ සඳහා යන වියදම් අධික බැවින් ඒවා පෞද්ගලික අංශයෙන් කර ගත යුතුව ඇත.

මෙකී තත්ත්වය මත රෝගීන් පත්වන්නේ මහත් අපහසුතාවයකටය. ආයතනයෙන් ආයතනයට මිල වෙනස් වන පරීක්ෂණ සේවාවන් රජයේ කිසිදු නියාමනයකට යටත් නොවන සේ රෝගී ජනතාව ග්‍රහණය කරගෙන තිබේ.

චැනල් සෙන්ටර්වලද තත්ත්වය එසේමය කිසිදු ප්‍රමිතියක් නොමැතිව මානව සම්පත ද පුහුණුවීම්වලින් ‍තොරව කටයුතු කරනා ආකාරයක් දක්නට ලැබේ.

පෞද්ගලික ‍රසායනාගාරවලින් අමු අමුවේම අසරණ රෝගීන් සූරාකන ආකාරය දැකගත හැකිය. කිසිදු නීතියක් සහ රෝගී ජීවිත පිළිබඳව සානුකම්පිතව නොබලා මෙම ආයතනවල මාෆියාව නැතිකර දැමීමට වහ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් විය යුතුය.

 

ඩබ්ලිව්. කේ. මොහාන්
මහවැලි සී කලාපය

 

නව අදහස දක්වන්න