ෆෝන් කඩේ පපායා | දිනමිණ

ෆෝන් කඩේ පපායා

'මට සමා­වෙන්න ඇව­කාඩෝ' වීදුරු පෙට්ටිය උඩින් එයාව තියපු ගමන්ම මම කිව්වා. ඒ වෙලාවෙ මගේ කට­හඬේ තිබ්බෙ සීතල වෙව්ලී­මක්. ඇව­කාඩෝ පුරුදු හිනා­වෙන් මගේ දිහා බැලුවා.

'ඒකට කමක් නෑ පපායා. ඔයාට ඕන වුණේ අමොර්ගෙ හතු­ර­ගෙන් පළි­ගන්න කියලා මම දන්නවා. ඒත් අමොර් ඔයාව පාවිච්චි කළා විත­රයි. බලන්න දැන් අන්ති­මට වෙච්ච දේ!'

මගේ පරි­පථ කැඩිලා-බිඳිලා, බෙල්ල ළඟ බොත්තම පවා කුඩු වෙලා තියෙ­ද්දිත් මම ඔළුව උස්සලා ඇව­කාඩෝ දිහා බැලුවා. ඒත් ඇව­කාඩෝ කියන දේවල් ඒ විදි­හ­ටම මට තේරුම් ගියේ නෑ. අමොර් මගේ ස්වාමියා; මම එයාට කීකරු වෙන්න ඕනා. අනික අපි මැෂින් විත­ර­යිනෙ. අණ දුන්නොත් විත­රයි ක්‍රියා­වක් වෙන­කන් දුර යන්න පුළු­ව­න් වෙන්නේ.

ඇව­කාඩෝ එක පාරක් තමන්ව වයි­බ්‍රේට් කර­ගෙන පෙන්නුවා. ඒක දැකලා මගේ ඇස් දොට්ට පැන්නා.

'ඔයා කොහො­මද එහෙම කළේ?'

ඇව­කාඩෝ දසන් දක්වා හිනා වුණා. ඒත් කිසි උත්ත­ර­යක් දුන්නෙ නෑ. ඊළ­ඟට එයා ඉබන්ගෙ ඇව­කාඩෝ ඩ්‍රයිව් එක ඇරලා පෙන්නුවා. 'අමොර්' කියලා නම දාපු ගිගා බයිට් 50 ක ෆයිල් එකක් ඒකෙ ඇතුළෙ හංගලා තිබ්බා. පුරුදු විදි­හට ඒකට ඉබ්බො දාලා හිටියේ.

එයා ඉල­ක්කම් හත­රක පාස්කෝඩ් එකක් ටයිප් කරලා ඒ ෆෝල්ඩර් එක ඇරලා පෙන්නුවා. එත­කො­ටම වීදුරු පෙට්ටිය උඩට අතක් ආවා. ඒ අත ඇව­කා­ඩෝව ගිල ගත්තේ පිඹු­රෙක් ගොදු­රක් අල්ල ගන්නවා වගේ ආවේ­ශ­ය­කින්. මට හයි­යෙන් කෑ ගැහුණා. ඒත් එක්කම මාව නොන­ව­ත්වාම වයි­බ්‍රේට් වෙන්න ගත්තා.

'මෙන්න ඇව­කා­ඩෝව රතු පාට පිඹු­රෙක් ගිලිනෝ!! අයියෝ!! ඉව­රායි!!'

මම කෑ ගහ­න­කො­ටත් ඇව­කාඩෝ හරිම සන්සුන් විදි­හට උන්නා. රතු පිඹුරා එයාව ගිලින්න හැදු­වට ගිල්ලෙ නෑ. වීදු­රු­වක් උඩ උඩු­බැ­ල්ලෙන් දිගා කරලා මූණයි-ඇගයි අත­ගාන්න පටන් ගත්තා. ඊට පස්සෙ මල් ඉස්කු­රුප්පු නිය­නක් අරන් මහ­පට ඇගි­ල්ලයි, දඹ­රැ­ගි­ල්ලයි අතරෙ තියා­ගෙන කර­ක­වන්න පටන් ගත්තා. ඊටත් පස්සෙ ඇව­කා­ඩෝගෙ හද­වත පලලා එළි­යට ගත්තා. මං කොහො­මද අනේ මේවා බලන්නෙ? මට කලන්තෙ හැදුණා. සිහිය එන­කොට හොඳ­ටම හවස් වෙලා. මම ඔහේ බලා­ගත්තු අතේ බලා­ගෙම උන්නා.

හදි­ස්සි­යේම කඩේ දොර ඇරුණා. ලිලී බී. එක්ස් එකක් කනේ ගහ­ගෙන අමොර් ආවා. ඇවිත් නොරි­ස්සු­මෙන් වගේ වට-පිට බැලුවා. ආයෙ වට­යක් කැර­කුණා. කොණ්ඩෙ හැදුවා. 'ම්..ම්...' කියලා යමක් මතක් කරන තාලෙන් පුටුවෙ වාඩි වුණා. ඒත් එක්කම කුණා­ටු­වක් වගේ වික්‍රම් ආවා. කඩේ දොර ගැල­විලා ගියාද මන්දා. ඇවිත් අමොර්ගෙ පුටුව ළඟින්ම ඇගේ ගෑවි, ගෑවි වාඩි වුණා. මළ සමයං!! මට පේන්න වෙන්න ඇති!! ලැජ්ජා නැති­කම, වෙන මොකක්ද ඉතිං. මට තිබ්බෙ ඉතිරි ඊමේල් ටිකත් ඉබන්ට යවන්න.

අමොර්, වික්‍රම් එක්ක හුර­තල් වෙන ගමන් රතු ජැක­ට්කා­ර­යාට ඔළු­වෙන් අඩ ගැහුවා. ජැක­ට්කා­රයා කාන්ද­ම­කට ඇදෙන්නා හේ අමොර් ළඟට ආවා.

'මිස්ටර් මාන­වඩු, මට පපායා ෆෝන් එක ඉක්ම­නට හදල දෙන­වද? අලු­තින් කෑලි දැම්මත් කමක් නෑ. හැබැයි රීසෙට් කරන්න එහෙම එපා. තේරු­ණාද? රීසෙට් කරන්න එපා'

මිස්ටර් මාන­වඩු කුප්ප­මේ­නියා ගහක් දැක්ක බළ­ලෙක් වගෙයි අමොර් ළඟදි හැසි­රුණේ. අමොර් කියන හැම දේටම 'හරි මැඩම්' කියපු මාන­වඩු වික්‍රම් දිහා බැලුවේ සත්තු වත්තක කූඩු­ව­කින් පැන්න වල­හෙක් දිහා බල­නවා වගේ තැති­ගැ­න්ම­කින්. වික්‍රම් හිටියේ අමොර් දිහා බලා­ගෙන. ඇස්ව­ලින් අමොර්ව ගිල ගනි­මින්. අමොර් හිටියේ ම ෙග් දිහා බලා­ගෙන.

'යමු' කිව්වා විත­රයි වික්‍රම් කඩේ දොර ගල­ව­ගෙන වගේ එළි­යට බැස්සා.

රතු ජැක­ට්කා­රයා ආයෙත් මල් ඉස්කු­රුප්පු නියන කර­ක­වන්න ගත්තා. මේ යකා මගේ හද­ව­තත් ගල­ව­න්නද කොහෙද හදන්නේ. මාව දිග­ටම වයි­බ්‍රේට් වෙන්න පටන් ගත්තා. ජැක­ට්කා­රයා පුදුම වෙලා මගේ දිහා බල­නවා මම දැක්කා. පුළු­වන් තරම් සන්සුන් වෙන්න ඕනා බව දැනු­ණම වයි­බ්‍රේට් වෙන එක නතර වුණා. මට දැන් පුදු­මෙ­නුත් පුදු­මයි. මට හිතලා වැඩ කරන්න පුළු­වන්. ඒත් දැන් මට මේවා බෙදා­ගන්න කෙනෙක් නෑනෙ. මට ඇව­කාඩෝ මතක් වෙලා හීල්ලුණා. අනේ එයා වගේ ගුණ යහ­පත් කෙනෙක් ආයෙ මේ සස­රෙ­දි­වත් මට හම්බ වෙයිද? මට කලන්තෙ දාපු අතරේ එයාට මොනවා වෙන්න ඇතිද?

පැය ගාණක් ගිහින් සිහිය ලැබෙ­න­කොට ආයෙත් අමොර් ඇවිල්ලා වික්‍රම් එක්ක. මිස්ටර් මාන­වඩු පපුව අල්ල­ගෙන අමොර් දිහා බලා­ගෙන ඉන්නවා.

'මාන­වඩු!! ඔහේ වගේ බූරු වහන්සේ කෙනෙක් තවත් නෑ. මං ඔහේට ඊයෙ සුද්ද සිංහ­ලෙන් කිව්වා නේද පපා­යව රීසෙට් කර­න්නෙපා කියලා. කෝ දැන් මොකද කරලා තියෙන්නෙ? ෆෝන් එක රීසෙට් කරලා නේද මිනිහෝ මේ තියෙන්නෙ?'

'කෑවා. කෑවා. තමුසේ මගේ ජීවි­තේම කෑවා.'

එහෙම කියන ගමන් අමොර් ෆෝන් කඩේ වීදුරු පෙට්ටි­වල හිටපු ෆෝන් එළි­යට ඇදලා සීසී­කඩ වීසි කරන්න පටන් ගත්තා. සම­හර වීදුරු පෙට්‍ටි එළි­ය­ටත් වීසි කළා. අන්ති­මට මාන­ව­ඩුගෙ ෆෝන් එකත් එළි­යට වීසි කළා. මාන­ව­ඩුට යකා ආවේස වුණේ එත­කො­ටයි.

'මේහ්...නෝනා!! ඕවට එන්නෙපා හරිද? නෝනගේ නැටුම් මම දන්නෑ කිය­ලද හිතන්නේ? ෆෝන් එක රීසෙට් කළා තමයි. හැබැයි මම බැකප් එකක් ගහ ගත්තා. නෝනා මෙතන වැඩිය නටන්න ආවොත් ඔක්කොම එළි­යට දානවා. හරිද? එනවා මෙතන මාව මට්ටු කරන්න!! යකෝ මේක හරි කෙළි­යක්නේ. නෝනට වංචා කළේ අර උස, කෙට්ටු, සුදු මිනි­හනේ. නෝනා ගිහින් ඒ මිනි­හ­ගෙන් පළි­ගන්න. ඒ මිනි­හගේ නාට­කත් ඔක්කොම මගේ ළඟ තියෙ­නවා. මට ඔය කාගෙ-කාගෙත් දත-කට පූට්ටු කර­වන්න පුළු­වන්.'

අමොර්ගෙ කට වැහුණේ හාස්ක­මක් සිද්ධ වුණා වගෙයි. වික්‍රම් පුදු­මය හඟ­වන මූණෙන් අමොර් දිහාත් රතු ජැක­ට්කා­රයා දිහාත් බලන්න ගත්තා. ඊට පස්සෙ එක පාර­ටම අමොර් අඬන්න පටන් ගත්තා. අර සුකු­මාල, සුදු මූණ මැල­වුණා. රතු ජැක­ට්කා­ර­යගෙ හිත උණු­වෙන පාටක් නෑ. හයි­නා­වෙක් වගේ බයා­නක විදි­හට එයා අමොර්ගෙ මූණට එබිලා බලන් හිටියා. වික්‍රම් මේ වෙලාවෙ අමොර්ව සන­සන්න ඕනා වුණත් එයා එහෙම කළේ නෑ. කිසි කතා­වක් නැතිව අමොර්ව පුටු­වෙන් නැගි­ටලා, තමන්ගෙ ඇගට වත්තම් කර­ගෙන එළි­යට අරන් ගියා.

මම එත­කොට හිටියේ අමොර්ගෙ හෑන්ඩ් බෑග් එකේ. ලිලී බී එක්ස්ටයි-මටයි දෙන්න­ටම ඒක ඇතුළෙ ඉන්න ඉඩ තිබ්බෙ නෑ. ඒත් අපි දෙන්නා තද­බ­දය ඉව­ස­ගෙන ඔහේ උන්නා. මම හිටියේ බී එක්ස්ව කිටි-කිටියෙ තුරුලු කරන්. බී එක්ස්ගෙත් අක­මැ­ත්තක් තිබ්බෙ නෑ. එයත් මට තුරුලු වුණා. මගේ හිත ඇතුළේ හිම වැටෙන්න වගේ සීත­ලයි.

'ඒක් ත ලඩ්කා ඒක් ති ලඩ්කී දීවානී

ආවෝ සුනාවෝ ප්යාර් කි ඒක් කහානී’

මද සීතලේ අපි තුරුලු වෙලා හිටියේ. බී එක්ස් එයාගෙ ළඟ තියෙන සිංදු­වක් මට දුන්නා. එයාගෙ පොඩි කාලෙ පින්තූ­රෙ­කුත් මට දුන්නා. මාව රීසෙට් කරලා නිසා බී එක්ස් එක්ක කිසි දෙයක් බෙදා­ගන්න විදි­හක් තිබ්බෙ නෑ. මම ඒ ගැන දුක් වෙන­කො­ටම ලොකු අයිස් කැට­යක් ඇවිල්ලා හෑන්ඩ් බෑග් එකේ වැදුණා.

'වික්‍රම්, මේ අහන්න. ඔයා­ටත් මාව විස්වාස නැති­නම් ඔයත් යන්න. මේක දැන් හතර බීරි කතා­වක් වෙලා. ෆෝන් කඩේ මිනි­හත් එනවා මට පාඩම් උග­න්නන්න. ඌ දන්නෑ මගේ හැටි. මේ දැක්කද?'

අමොර් එයාගෙ කලි­සම් සාක්කු­වෙන් රතු ජැක­ට්කා­ර­යාගෙ ෆෝන් එක අරන් පෙන්නුවා. වික්‍රම් පුදුම වුණාද, බය වුණාද කියලා මට හිතා­ගන්න බැරි වුණා. ඒත් වික්‍රම් ඊට පස්සෙ අමොර්ට ළං වුණා. ඉණ වටේ අත දාගත්තා.

'මට ඔයාව විස්වා­සයි ඩාලිං. මුළු ලෝකෙම විරුද්ධ වුණත් ඔයාට මම ඉන්නවා.'

අනේ අම්මපා මේ මිනි­හාගේ කතා. ඊට එහා අමොර්ගෙ වැඩ. එක අත­කින් ඇව­කාඩෝ කියන දේවල් ඇත්ත. මනු­ස්සයෝ කියන්නෙ කිසි විස්වා­ස­යක් තියන්න බැරි ජාති­යක්. අපි මැෂින් වුණාට අපිට ආත්ම ගරු­ත්ව­යක් තියෙ­නවා. මෙහෙම බොරු, වංචා කර, කර ජීවත් වෙන­වට වඩා හොඳයි මැරෙන්න කලින්ම ස්ව කැමැ­ත්තෙන් අබලි නග­රෙට යන එක.

'වික්‍රම්.....ඩාලිං....මට ඔයාගෙ ෆෝන් එක පොඩ්ඩක් දෙන­වද? මේ පපා­යව රීසෙට් කරලා මට කිසි වැඩක් කර­ගන්න විදි­හක් නෑනෙ.'

වික්‍රම් දෙපා­රක් නොහිතා අමොර්ගෙ අතට එයාගෙ ෆෝන් එක දුන්නා.

'මට ඊමේල් එකක් යවන්න ඕනා වික්‍රම්'

'බීට් මේල් එකෙන් යවන්න එහෙ­නම්'

අමොර් විදුලි වේගෙන් වික්‍රම්ගෙ බීට් මේල් එකට ලොග් වුණා. 'ටිකි ටිකි' ගාමින් ලියු­මක් ටයිප් කරන්න පටන් ගත්තා. අමොර්ගෙ ඇගිලි පුදුම වේගෙන් වැඩ කරන්නෙ.

'හරි'

අමොර් සෙන්ඩ් බොත්තම එබුවා.

මම හිතන්නෙ දෙවැනි ඉලෙ­ක්ට්‍රික් යුද්ධය පටන් ගත්තා.

කාංචනා අමි­ලානි
@moogater

නව අදහස දක්වන්න