ජගත් කුඩු ජාවාරමුන් ප්‍රභූ වෙසින් මෙරටට පනින වෑයමක | දිනමිණ

ජගත් කුඩු ජාවාරමුන් ප්‍රභූ වෙසින් මෙරටට පනින වෑයමක

විජයානි එදිරිසිංහ

කඩා වැටෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලය යළි ගොඩගෙන ප්‍රතිසංවිධාන කිරීම පිණිස ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රභූ වෙසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ග්‍රීන් චැනල් පිටවීමේ අංශය හරහා මෙරටට පැන ගැනීමේ සැලසුමක තොරතුරු ජාත්‍යන්තර පොලීසිය මගින් හෙළි කරගෙන තිබේ.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ගුවන් තොටුපළ හරහා මත්ද්‍රව්‍ය ගෙන ඒමට නොහැකි වන පරිදි රෙඩ් චැනල් මෙන්ම මුහුදු මාර්ග හරහා රටට ඇතුළුවීමට නොහැකි වන පරිදි සියලු ආරක්ෂක විධි විධාන යොදා තිබේ.

ඊට අමතරව බන්ධනාගාරවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සිදු කෙරෙන දුරකතන පනිවුඩ හුවමාරු කොටු කර ගැනීමට ද මෙහෙයුම් සිදු කෙරෙමින් පවති. ඒ යටතේ බන්ධනාගාරයට කෙරෙන සාමාන්‍ය සැපයුම් සම්බන්ධයෙන් නීති රිති රැසක් ද යොදා ඇත. මේ නිසා බන්ධනාගායේ සිට ජාත්‍යන්තරයටත්, රට තුළටත් සිදු කෙරෙන දුරකතන ඇමතුම් ද බුද්ධි අංශ නිරීක්ෂණයට ලක් වී ඇත.

මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මර්දනය කිරීම පිණිස පොලිසිය සහ ආරක්ෂක අංශ සිදුකරන සෑම දෙයක් පිළිබඳවම කරුණු සෙවීම පිණිස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඔත්තු සේවාවක් පවත්වාගෙන යයි. ‍දැනට මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය මර්දනය කිරීමට පොලීසිය, විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, රහස් ‍පොලිසිය, මත්ද්‍රව්‍ය නාශක අංශය, ‍රේගුව සහ පොලීසිය මගින් කරගෙන යන මෙහෙයුම් පිළිබඳව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ජාලය ඔවුන්ගේ ඔත්තුකරුවන් හරහා දැනුවත් වී ඇතැයි ද, එම නිසා කඩා වැටි ඇති එම ජාවාරම් ගොඩ ගැනීමේ අරමුණින්මෙසේ ජාවාරම මෙහෙයවන නායකයන්, ප්‍රභු වෙසින් මෙරටට ඇතුල්වීමට සැලසුම් කර ඇතැයි ද මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් අංශ විශ්වාසය පළ කරයි.

මෙරටින් විදෙස් රටවල්වලට පැනගත් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය සහ වෙනත් ජාවාරම්කරුවන් නවදෙනකු වෙනුවෙන් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇත.

මොවුන් අතරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිපදෙනකු මෙරටට මත්ද්‍රව්‍ය සපයමින් කරගෙන යන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම පසුගිය ආරක්ෂක මෙහෙයුම්වලින් සියයට පනහකටත් වඩා වැඩි ප්‍රමාණයකින් කඩා වැටී ඇත. මෙරට සිට මත්ද්‍රව්‍ය ජාවාරම බාරගෙන කරගෙන යමින් සිටි ඔවුන්ගේ ගෝලයන් කිහිපදෙනකුම ඝාතනයට ලක්විය. මත්කුඩු තොග කිලෝ දෙදහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක්, සැකකරුවෝ දෙදහසක පමණ පිරිසක් අත් අඩංගුවට ගනිණි. මෙරට සිට කුඩු ජාවාරම මෙහෙය වු ප්‍රධාන ගෝලයෝ පහළොස් දෙනෙක් පමණ ඝාතනයට ලක් වී ඇත.

මේ ආකාරයෙන් සිදු කළ සහ දැනට සිදුවෙමින් පවතින මත්ද්‍රව්‍ය මෙහෙයුම්වල ප්‍රතිළුලයක් වශයෙන් ඔවුන්ගේ මත්කුඩු ජාවාරම කඩා වැටී තිබේ.

මේ නිසා රටට එන මත්කුඩු තොග ප්‍රමාණය ද විශාල වශයෙන් අඩු වි තිබේ. ඊට හොදම උදාහරණය ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය පෙන්වා දෙන්නේ හෙරොයින් කිලෝවක මිල අද වන විට රුපියල් කෝටි පහකට ආසන්න මිලක පැවතීමයි.

මේ නිසා විශේෂයෙන් මාකදුරේ මධුෂ්, අං‍ගොඩ ලොක්කා. සුසෙයි සහ තවත් ජාවාරම්කරුවන්ගේ ඝාතනයට ලක් වු ගෝලයන් වෙනුවට වෙනත් ගෝලයන් පත්කිරීම සහ කඩා වැටෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරම ගොඩ ගැනීමට එම ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ට මෙරටට පැන ගැනීමට අවශ්‍ය වුවත් ඔවුන්ට කිසිසේත් හොර රහසේ අපරාධකරුවන්ගේ ජාලයට හොරෙන් රටට ඇතුළුවිමට නොහැකි වන නිසාත්, ප්‍රභු වෙසින් විදෙස් ගමන් බල පත්‍ර සකස් කර ගෙන ග්‍රින් චැනල් හරහා මෙරටට පැන ගැනීමට සැලසුම් කරන බවට තොරතුරු බුද්ධි අංශවලට හෙළි වී ඇත.

මේ නිසා කටුනායක ගුවන්තොටුපලේ රෙඩ් චැනල් හරහා පමණක් නොව ග්‍රින් චැනල් හරහා යන එන සියලුම පුද්ගලයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කිරී මට ආරක්ෂක අංශ මෙන්ම රේගුවද පියවර ගෙන ඇත.

නව අදහස දක්වන්න