ආර්ථිකය! | දිනමිණ

ආර්ථිකය!

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කරනවිට; ආණ්ඩුව පිටරට සුද්දාට යට ඇඳුම් මහන්නට කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඇතැ’යි අපහාස ඉදිරිපත් විය. තව ආර්ථික විවේචන ද ඉදිරිපත් විය. එහෙත් ප්‍රේමදාස මහතාගේ ඇඟලුම් කර්මාන්තය නොවන්නට විදේශ විනිමය උපයන ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් අපට අහිමි වන්නේ ය. තරුණ පරම්පරාවේ විරැකියාවට ලැබෙන හොඳම විසැඳුමක් ද අහිමි වන්නේය. කොටින්ම යට ඇඳුම් කොන්ත්‍රාත්තුව ලෙස කුහකයන් හා මෝඩයන් හඳුන්වන ලද ඇඟලුම් කර්මාන්තය නොවන්නට ශ්‍රී ලංකාවේ ආර්ථිකය මීට වඩා බොහෝ පහළින් සිටින්නේය.

ප්‍රේමදාස මහතා ජනසවිය ආරම්භ කරනවිට එය බොරුවක් බව ද, එයින් සිදුවන්නේ රටේ දුප්පතුන් ගොනාට ඇන්දවීම බව ද විවේචකයෝ කියා සිටියහ. ජනසවිය දිළිඳුකම පිටුදැකීම පිළිබඳ යථාර්ථවාදී වැඩසටහනක් වුව ප්‍රතිවිරුද්ධ දේශපාලන නායකයන් එය පිළිගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඔව්හු එය දිගට-හරහට පමණක් නොව; උස අතට ද විවේචනය කළහ. එහෙත් වැඩිකල් නොයාම ජනසවිය මහජනයා අතර පිළිගත් වැඩසටහනක් බවට පත්විය. එය කෙතරම් ශක්තිමත් ද යත්, ප්‍රේමදාස මහතාගෙන් පසු බලයට පත්වූ ආණ්ඩු, වැඩසටහනෙහි නම වෙනස් කොට එය එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට පටන් ගත්තේය.

සංවර්ධනය පිළිබඳ බරපතළ හැඟීමක් ඇති දේශපාලන නායකයන් කිහිපදෙනකු රට තුළ සිටියත් මේ ක්ෂේත්‍රයේ අති බහුතරය සංවර්ධනය පිළිබඳ අලුත් අදහස් ඇති අය නොවේ. බොහෝදෙනකුගේ ඉලක්කය වන්නේ පවත්නා දේවල් ඒ ලෙසින් ම ක්‍රියාත්මක කරමින් තම ඡන්ද පදනම රැකගැනීම යැයි කියන්නට පුළුවන. අලුත් දේශපාලන චින්තන වැඩි දෙනකුට නැත. අලුත් ආර්ථික චින්තන ද වැඩි දෙනකුට නැත. අපගේ දේශපාලන උපදේශකයන්ගේ මතය වන්නේ ද සමාජය කැලැඹීමට හා විවේචනයට යොමු කරන කිසිවක් නොකළ යුතු බවය. එදා වේල ටුවර්ස් ලෙස ද මේ ක්‍රමය හැඳින්විය හැකිය. අප කියන මේ සන්දර්භය තුළ අලුත් දෙයක් කිරීම අපහසු ය.

මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය හා තවත් දේවල් ආරක්ෂා කිරීම සඳහා ද ඒවා ඔස්සේ ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ද යෝජනා කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින සියලු වැඩසටහන් දැඩි විවේචනයට ලක් වී ඇත. එට්කා ගිවිසුම, සිංගප්පූරු, ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුම, ගම්පෙරළිය වැඩසටහන දැඩි විවේචනයට ලක්වී ඇත. මේ හැම විවේචනයක්ම දේශපාලනික ය. ඒවා මහජනයාගේ විවේචන වන්නේ ද නැත. ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන වැඩසටහන ඔස්සේ පළාත් සභාවල බලය අභියෝගයට ලක්වන බවට ද විවේචනයක් පවතී. එම විවේචනය ඉදිරිපත් කරන එක් පුද්ගලයෙක් වන්නේ දකුණේ මහ ඇමැතිවරයා ය. මේ විවේචන දෙස බලනවිට පෙනීයන්නේ අලුත් යමක් කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති දුෂ්කරතාවයි.

පළාත් සභා ක්‍රමය මේ රටේ ජනවාර්ගික අර්බුදය විසැඳීම සඳහා යොදාගත් එක්තරා දේශපාලනික උපායමාර්ගයකි. එය අපේ රටට ආරෝපණය කළේ ඉන්දියාව යැයි කියන්නට පුළුවන. එහෙත් පළාත් සභා යථාර්ථයක් වූ පසු එයින් අපේක්ෂා කළ ප්‍රධාන ඉලක්කයක් වූයේ ප්‍රාදේශීය සංවර්ධනයයි. 1987 සිට මේ දක්වා කාලපරාසය විමර්ශනය කළහොත් පළාත් සභා ඔස්සේ සිදුවූ අමුතු සංවර්ධනයක් අපට පෙනෙන්නට නැත. එහෙත් එම සභා හා සභාවේ ප්‍රධානීන් නඩත්තු කිරීම සඳහා බරපතළ මුදලක් රජය වාර්ෂිකව වෙන් කරයි. මේ මුදල් අපතේ යන බව සමහරු කියති. පළාත් සභා යනු සුදු අලියකු බව ද තව සමහරු කියති. කෙසේ වුව එම ආයතන නඩත්තු කිරීම සඳහා යන වියදම අපතේ යන වියදමක් යැයි කිවහොත් එය තාර්කිකය.

ගම්පෙරළිය ග්‍රාම සංවර්ධන වැඩසටහන පළාත් සභාවේ බලයට අභියෝගයක් යැයි කියනුයේ සාම්ප්‍රදායික පළාත් සභා ක්‍රමයේ රැඳී තම තනතුරු හා වරප්‍රසාද රැකගැනීමට වෑයම් කරන අය යැයි කියන්නට පුළුවන. පළාත් සභාවල නායකයන් තම පළාතට, ගමට, රටට දැනෙන යමක් සිදුකර ඇත්තේ නම්; ගම්පෙරළිය වැනි වැඩසටහන් අලුතින් යෝජනා කි‍රීමට අවශ්‍යවන්නේ නැත. පළාත් සභාවේ දේශපාලන නායකයන් අලුතින් ආරම්භ කළ සංවර්ධන වැඩසටහනක් ගැන මතකයක් අපට නැත. ඇත්ත සිද්ධිය වන්නේ කිසිදු පළාත් සභාවක් එබඳු වැඩසටහන් ආරම්භ කර නැති බව ය. ඒ අනුව මධ්‍යම රජයේ පොදු වැඩසටහන් වටහා ගැනීම පළාත් සභාවල යුතුකම වන්නේ යැයි කිව හැකි ය.

ඉන්දියාවේ වත්මන් නායකයා වන අගමැති මෝදි බලයට පත්වූ සැණෙන් කියා සිටියේ එන්න අපේ රටේ ආයෝජනය කරන්න නව නිෂ්පාදන ඇති කරන්න අපට පමණක් නොව; පිටරටටත් විකුණන්න යන්න ය. අපේ රටේ අගමැතිවරයා එබඳු ප්‍රතිපත්තියක සිටිය ද සෙසු බොහෝදෙනා ලෝක ආර්ථිකය සමඟ ගැට ගැසීමට විරුද්ධ වෙති. මත්තල ගුවන් තොටුපොළ ගැන දැන් ඉදිරිපත් වන විවේචනවලට අනුව ශ්‍රී ලංකාවේ සියලු යුදමය ක්‍රියාමාර්ග ඉන්දියාව මත්තල ගුවන් තොටුපොළෙහි සිට පාලනය කරනු ඇත. මෙය ඉන්දියාව පවා නොදන්නා අලුත් අදහසකි. අලුත් විවේචනයකි. මෙබඳු විවේචන මඟින් සිදුවන්නේ ශ්‍රී ලංකාව කිසිවක්ම කර ගැනීමට බැරි තැනකට ඇදවැටීමය.

දැන් කාලයේ හැටියට දේශපාලන තීන්දු ගැනීමට ඉදිරියට එනු ඇත්තේ ගුරුවරුන් ය. ආර්ථික තීන්දු ගැනීම සඳහා ඉදිරියට එනු ඇත්තේ වෛද්‍යවරුන් ය. වෛද්‍ය සංගමය සිංගප්පූරු - ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුමට මුළුමනින්ම විරුද්ධය. ඔවුනගේ ඉලක්කය වන්නේ එය පරාජයට පත් කිරීමය. වෛද්‍යවරුන් ආර්ථික තීන්දු ගැනීමට එකතු වී සිටීම එතරම් ම හොඳ දෙයක් යැයි සිතන්නට බැරිය. ඔවුන්ගේ අභිප්‍රාය දේශපාලන වශයෙන් කැලැඹීමක් ඇති කිරීම බව පෙනෙන්නට තිබේ. මෙබඳු ගැටුම් හා ප්‍රෝඩා මැද රටක් ඉදිරියට ගෙනයන්නේ කෙසේ ද?

 

නව අදහස දක්වන්න