උතුරු මැද උසස් පොලිස් නිලධාරීන් මුණිවත රකිනවා | දිනමිණ

උතුරු මැද උසස් පොලිස් නිලධාරීන් මුණිවත රකිනවා

යතුරු පැදියක පසුපස ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ හිසට හෙල්මට් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා බරපතල තුවාල ලබා ඔහු ජීවිතක්ෂයට පත්වී මසකට අධික කාලයක් ගතවී ඇතත් ඊට සම්බන්ධ පුද්ගලයා මෙතෙක් අත්අඩංගුවට නොගැනීම ගැන මරණයට පත්වූ පුද්ගලයාගේ බිරිඳ දැඩි කනස්සලෙන් පසුවන්නීය.

මෙම සිද්ධිය උතුරු මැද පළාතේ වග කිවයුතු සියලු උසස් පොලිස් නිලධාරීන්ට දැන්වූවත් ඔවුන් මුණිවත රකිමින් සිටින බව ජීවිතක්ෂයට පත් වූ ජී.බී කුළතුංග නමැති තිදරු පියාගේ බිරිය වූ රාජාංගනය පොලිස් වසමේ සිරිමාපුර හොරොම්බාගම ගල්වල පාර පදිංචි ඩී. කරුණාවතී මහත්මිය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා සිටින්නීය.

මෙම සිද්ධියට සම්බන්ධ තඹුත්තේගම පොලිසියේ රථ වාහන නිලධාරියා සම්බන්ධයෙන් සාධාරණ පරික්ෂණයක් සිදු නොවී ඇතැයි ඇය වැඩිදුරටත් කියා සිටියාය.

සිය සැමියාට තඹුත්තේගම පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු සිදුකළ පහරදීම නිසා ඔහු සිහිසුන්වී යතුරු පැදියේ පසුපස දෑත් දෙපසට විහිදාගෙන වැටී ගමන් කරන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා (සී.සී.ටී.වී) දර්ශනයකින් ලබාගත් පැහැදිලි ජායාරූපයක්ද ඇය පොලිස්පතිවරයාට යොමුකර ඇත.

පසුගිය මැයි මස 19 වන දින රාජාංගනය වැව් ඉවුරට හරක් බැඳීම සඳහා ඇගේ සැමියා වූ කුලතුංග ඔහුගේ වැඩිමල් සහෝදරියගේ පුත්‍රයා සමඟ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී රාජාංගනය තුනේ කණුව ප්‍රදේශයේදී මෙම අවසානාවන්ත සිදුවීමට මුහුණපා තිබේ.

පොලිස් නිල ඇඳුමෙන් සැරසි රථවාහන රාජකාරීයේ නිරතවී සිටි තඹුත්තේගම පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු ගමන්කළ යතුරු පැදිය නවතන ලෙස අණ කර ඇතත් ඒ අවස්ථාවේ දෙදෙනාම ආරක්ෂිත හිස් වැසුම් (හෙල්මට්) පැළඳ නොසිටි නිසා ඔවුන් යතුරු පැදිය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇත.

පොලිස් අණට කීකරු නොවීමත් යතුරු පැදිය නොනැවැත්වීමත් නිසා උරණවු එක් පොලිස් නිලධාරියකු මාර්ගයට පැන වේගයෙන් ධාවනයවූ යතුරු පැදිය පැදවූ මරණකරුගේ ඥාතී පුත්‍රයාට හිස් වැසුමෙන් පහරදී ඇති අතර ඔහු ප්‍රහාරයෙන් බේරී ඇතත් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් මරණකරු අනපේක්ෂිත ලෙස හෙල්මට් පහරට ගොදුරු වී තිබේ.

මෙහිදී තුවාල ලත් පිටුපස අසුනේ සිටි කුලතුංග බරපතල තත්ත්වයෙන් රෝහලට ඇතුළු කිරීමෙන් පසු මියගොස් තිබිණි. දරුණු හෙල්මට් ප්‍රහාරය නිසා යතුරු පැදිය පෙරැළී වැටී ඇති අතර එහිදී කුලතුංග ක්ලාන්ත වී තිබිණි. තුවාල ලබා සිටි සැමියා තඹුත්තේගම රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් පසු වූ නිසා අනුරාධපුර ශීක්ෂණ රෝහලට මාරුකර යැවූ බවත් කුලතුංගගේ බිරිය කීවාය.

ඉන් පසු දින අටක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ තම සැමියා තවත් දින හයක් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ 31 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිහි නොමැතිව සිටියදී නැවතත් තඹුත්තේගම රජයේ රෝහලට මාරුකර යැවූ බවත් කී ඇය එසේ ප්‍රතිකාර ලබමින් සිටියදීම ඔහු ජීවිතක්ෂයට පත් වූ බවත් පැවසුවාය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සිට උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා පැමිණිලි සිදුකළත් උසස් පොලිස් නිලධාරීන් ඝාතකයා බේරා ගැනීමට සිද්ධිය යටගසමින් සිටින බව පැමිණිලිකාරිය පැවසු අතර අවසානයේ මේ බව පොලිස්පතිවරයාට දීර්ඝ ලිපියකින් දැන්වූ බවත් ඇය පවසා සිටියාය.

සිය සැමියා පොලිස් හෙල්මට් ප්‍රහාරයෙන් මියයාම පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහුගේ බිරිඳ මෙසේ ද කීවාය. “ ඔය සිද්ධිය වුණු දවසේම අපි තඹුත්තේගම පොලීසියට පැමිණිලි කරන්න ගියා. ඒ වෙලාවේ පොලිස් ස්ථානාධිපතිතුමා හිටියේ නෑ. හෙට එන්න කිව්වා. ඊට පස්සෙ අපි ගෙදර ගියා.

පහුවදා මම අපේ අක්කගේ පුතාව බලන්න තඹුත්තේගම රෝහලට ගිහින් ඇහුවා මොකක්ද පුතේ වුණේ කියලා. අපි බයික් එකේ රාජාංගනය වැවට යද්දී පොලීසිය බයික් එක නවත්තන්න අත දැම්මා මම නවත්තන්න වේගය අඩු කරලා හෙල්මට් නැති නිසා ආයේ වේගය වැඩි කරද්දීම පොලිසියේ මහත්තයා එයාගේ අතේ තිබුණ හෙල්මට් එකෙන් මට ගැහුවා කියලා පුතා කිවුවා.”

“ මම ඒ එක්කම ඔළුව පාත් කළා එතකොටම ඒ පාර පිටිපස්සේ හිටිය මහතුන් බාප්පට වැදුණා.මහතුන් බාප්පා මගේ ඔළුව කියලා කිව්වා.ඒත් පොලීසියට බයේ මම වේගයෙන් ඉස්සරහට ආවා.ටික දුරක් එන කොට සිරිමාපුර හංදියේදී බාප්පා එක්කම බයික් එකත් පෙරළුණා කියලා පුතා මට කිව්වා.” ”ඊට පස්සේ මම මේ සිද්ධිය තඹුත්තේගම පොලීසියේ ස්ථානාධිපතිතුමාට පැමිණිලි කරන්න ආවා.

ඒ වෙලාවේ ස්ථානාධිපතිතුමා කිව්වා අපේ නිලධාරීන්ට විරුද්ධව මට පැමිණිල්ල බාර ගන්න බෑ. ඒ.එස්.පී මහත්තයා ගාවට යන්න කියලා.”

“ මගේ සැමියට පහර දෙන අවස්ථාවේ බයිසිකලය පදවාගෙන ගිය අක්කගේ පුතා ව පොලීසියට කැඳවලා එයාට විරුද්ධව නඩු පවරා නොසිටීමට නම් පොලිස් නිලධාරීන් හෙල්මට් එකෙන් ගහපු සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙසට පවසලා ප්‍රකාශක් ලබාගෙන කිසිදු නඩුවක් පවරන්නේ නැතිව එයාගේ යතුරු පැදියත් පොලීසියෙන් මුදා හැරලා තියෙනවා. එයා බිය ගන්වා පොලීසිය නිදහස් කරලා තියෙන නිසා එයත් දැන් පොලීසියට විරුද්ධව ප්‍රකාශයක් කරන්නේ නෑ.”

“ ඊට පස්සේ මම ඒ.එස්.පී මහත්තයාට පැමිණිලි කරන්න ගියා.මගේ පැමිණිල්ල බාර ගත්තා. නමුත් සතියක් ගත වෙලාත් ඒ ගැන කිසිම පරීක්ෂණයක් නොවුණ නිසා මම ඩී.අයි.ජී. මහත්තයා හම්බෙන්න අනුරාධපුරයට ගියා. මම ඒ මහත්තයටත් පැමිණිලි කළා. නමුත් එතුමාත් කිසිදු පරීක්ෂණයක් සිදු නොකළ නිසා මම නැවත ඩී.අයි.ජී. මහත්තයා හම්බෙන්න ගියාම මට ආයෙත් ඒ.එස්.පී මහත්තයා හම්බෙන්න යන්න කිව්වා.

ඒ.එස්.පී මහත්තයා හම්බෙන්න ගියාම එතුමා කිව්වා නැවත දුරකථන ඇමතුමක් දුන්නම එන්න කියලා.” “ නමුත් මේ වනතෙක් ඒ ඇමතුම ලැබුණේ නෑ.කිසිම සාධාරණයක් වුණේ නෑ. සැමියාට පහර දුන් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් පරීක්ෂණයක්වත් කරලා නෑ.මේක මේ අයගේ වරදක් නිසා පොලීසිය යට ගසමින් සිටිනවා.ඒ නිසා මේ සදහා සාධාරණයක් ඉටු කර දෙනමෙන් ඉල්ලා සිටිනවා” පැමිණිලිකාරිය වැඩිදුරටත් පැවසුවාය.

යතුරු පැදිය නොනැවත්වීම නිසා හෙල්මට් ප්‍රහාරයක් එල්ලකර පුද්ගලයකු ඝාතනය කළ නිලධාරියා මිනීමැරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා උතුරුමැද පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු සියළුම නිලධාරින් නිහඬවී මෙය ස්වාභාවික අනතුරක් බව පෙන්වා සිද්ධිය යට ගැසීමේ දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බව පොලිස් සේවයේම නිරත පිරිසක් මාංචුවට පැවසූහ.

කුළතුංගගේ මරණයට හේතුව හිස් කබල පුපුරා ගොස් මොළය අභ්‍යන්තරයට සිදුවූ හානිය බව ඒ පිළිබඳ සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාවේ සඳහන් වේ.

(බුද්ධික මහේෂ් විජේසූරිය අනුරාධපුර මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න