මිඩ්වයිෆ්ලා 1300ක් කඩිනමින් ගනී | දිනමිණ

මිඩ්වයිෆ්ලා 1300ක් කඩිනමින් ගනී

සන්ධ්‍යා කරුණාරත්න

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට රජය තීරණය කරයි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිඟය අවසන් කිරීම සඳහා 1300ක් කඩිනමින් බඳවා ගැනීමට රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

හෙද පාසල්වල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 473ක් මේ වන විට පුහුණුව ලබන අතර පුහුණුව අවසන් කිරීමෙන් පසු පත්වීම් ලිපි ඔවුන්ට ප්‍රදානය කිරීමට නියමිතය. පසුගිය දිනවල නැඟෙනහිර පළාතට ලබා දී ඇති පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 20 ක් ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති නිසා ඔවුන් වෙනත් සේවා ස්ථාන සඳහා යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා උපදෙස් ලබාදී තිබේ.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට නව නිල ඇඳුමක් හඳුන්වාදීම පිළිබඳව සාකච්ඡාවට එක් වූ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සතුට පළ කෙරිණි.

උතුරු පළාතේ සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට එම නිල ඇඳුම භාවිත නොකරන ලෙසට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා දැනුම් දී තිබිණ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛ රටම ආවරණය වන ලෙස ක්‍රියාත්මක වන නිසා නව නිල ඇඳුම උතුරු පළාතේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ද භාවිත කළ යුතු බවට ඇමැතිවරයා අවධාරණය කළේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පුහුණු කිරීම සඳහා කළුතර යටදොලවත්ත ප්‍රදේශයේ පුහුණු පාසලක් ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණ. දැනට භාවිත නොකරන ගොඩනැඟිලි සංකීර්ණයක් යටදොලවත්ත ප්‍රදේශයේ ඇති අතර එය අලුත්වැඩියා කර භාවිතා කිරීමට හැකියාව ඇති බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ගමන් වියදම් දීමනාව වැඩි කර දෙන ලෙස මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් විය. මේ පිළිබඳව වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග, සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්ම මහත්මීහු සහභාගි වූහ.

අදහස් 1ක් ඇත

US sanctions impact: Iran offers oil to Asia at cheapest rate in 14 years https://timesofindia.indiatimes.com/business/international-business/us-sanctions-impact-iran-offers-oil-to-asia-at-cheapest-rate-in-14-years/articleshow/65396366.cms

නව අදහස දක්වන්න