ජනතා තීන්දුවෙන් පැවරූ වගකීම ඉටුකළා | දිනමිණ

ජනතා තීන්දුවෙන් පැවරූ වගකීම ඉටුකළා

රෝෂන් තුෂාර

මහා පරිමාණ වංචා දූෂණ කරමින් රජයේ මුදල් අවභාවිතා කළ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබාදීමට ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත කිරීම වත්මන් රජයේ ජනතා පොරොන්දු ඉටුකිරීමක් බවත්, අධිකරණ ඇමැතිවරිය ලෙස තමන් එම වගකීම ඉටුකළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (21) පැවැසුවාය.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විවෘත කිරීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇමැතිවරිය එසේ පැවැසුවාය.

ර‍ජයේ මුදල් අවභාවිතා කළ පුද්ගලයින් හා එසේ මුදල් අවභාවිතා කළ බවට තොරතුරු තිබූ අවධියක එයට නිසි දඬුවම් ලබාදෙන බවට 2015 ජනවාරි 08 දින වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ බවත් එම පොරොන්දු ඉටුකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට යම් කාලයක් ගත වූ බවත් ඇමැතිවරිය පැවැසුවාය.

මෙම විශේෂ මහාධිකරණයට ඉදිරිපත් කරන නඩු මොනවා දැයි තීරණය කරනුයේ අධිකරණ ඇමැතිවරිය නොවන බවත් අගවිනිසුරුවරයාගේ අභිමතය පරිදි සුදුසු නඩු ඊට යොමුකරන තීරණය ලබා දෙනු ඇති බවත් ඇමැතිවරිය පැවැසුවාය.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විවෘත කිරීමේ උළෙලට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ. ආර්. ද සිල්වා අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් මහත්මිය, අමාත්‍යාංශ ‍නිලධාරින්, අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න