දරුවන්ගේ කඩාවැටීම්වලට මවුපියන් වගකිව යුතුමයි | දිනමිණ

දරුවන්ගේ කඩාවැටීම්වලට මවුපියන් වගකිව යුතුමයි

ලයනල් පී. පෙරේරා කැලණිය විශේෂ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලින් සිදු වූ වැරැදි ක්‍රියා නිසා දරු පරපුරට මහත් අසාධාරණයක් සිදුව ඇති බවත්, පාසල් දරුවන්ට සේම තරුණ පරම්පරාවට යම් අසාධාරණයක් සිදුවීම පිළිබඳව සමස්ත වැඩිහිටි පරපුරම වගකීම භාර ගත යුතු බවත් මහාචාර්ය සරත් විජේසූරිය මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මාධ්‍යවේදී සචිත්‍ර නේරංජන ඇල්වලගේ විසින් රචිත 'ජන හද අවධි කළ අපේ යුගයේ පුරුෂයෝ' සහ 'ලොව හැඩ කළ මිනිස්සු' නැමති ග්‍රන්ථ යුගලය එළිදැක්වීමේ උත්සවයකදීය. දළුගම සරසවි චිත්‍රාගාරය පරිශ්‍රයේ මේ උත්සවය පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

දරුවන්ගේ පොත් කියැවීමේ කලාව මේ වන විට හීන වී ගිහින්. අධ්‍යාපනයේ දියුණුව මැනිය යුත්තේ විභාග සහතිකවලින් නොවේ. දියුණුව යන වචනය අප විසින් තේරුම් ගෙන ඇති අන්දම වැරැදියි. රටක දියුණුව ද මනින්නේ දරුවන්ට මවුපියන් සිදු කරනා ආදරය යන මිනුමෙන්. මේ වන විට රටේ සෑම ක්ෂේත්‍රයකම බරපතළ කඩා වැටීමක් දක්නට ලැබෙනවා. එකල පාසල් දරුවන් වන අපට පාසලෙන් නියම කරන්නේ ගුවන් විදුලයේ ප්‍රවෘත්ති ඇසිය යුතුව බවයි. එහෙත් වර්තමාන දරු පරපුරට ප්‍රවෘත්ති වැනි දා අසන්න හෝ පෙනෙන්න බැරි තරම්.

අද ලෝකයේ අධ්‍යාපන විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ඇඟිලි තුඩුවලින් ක්‍රියාකාරී වන දරුවාගේ මනස වර්ධනය වන බවයි. මේ නිසා දියුණු රටවල අධ්‍යාපන ආයතන උගන්වන තැනක් නොව ඉගෙන ගන්නා තැනක් බවට පරිවර්තනය වී තිබෙනවා. මේ නිසා දරුවන් නව යොවුන් වියට පා තබනා විට ඒ සෑම දරුවකුම කියැවිය යුතු පොත් ලැයිස්තුවක් නියම කර තිබෙනවා. මේ හේතුවෙන් චින්තන ශක්තිය වැඩි දියුණු කර ගත් දරුවාට ගුරුවරු ගුරුවරියන් කරන්නේ ඉදිරියට යන මඟ පෙන්වාදීම පමණයි. මේ ලෝකයේ නව අධ්‍යාපන ක්‍රමයයි. දරුවකු තමන්ටවත්, අනුන්ටවත් අනර්ථයක් නොකර සිටී ද, එම දරුවා සැබැවින්ම නිර්මාණාත්මක පෞරුෂයක් ඇති දරුවෙක්. රටක පාරවල් හැදූ පමණින දැවැන්ත ගොඩනැඟිලි ඉදි කළ පමණින් දියුණුව මැනිය නොහැකියි.

අද වන විට ආගමික, දේශපාලන සංස්ථා දැවැන්ත කඩා වැටීමකට ගොදුරුව තිබෙනවා. අධ්‍යාපනය ද එසේයි. සවසට රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති බලනා විට ජනතාවට කොතරම් මානසික ව්‍යාධි ඇති කරනවාද? එකල රටේ තිබුණේ එකම ගුවන් විදුලි නාලිකාවයි. අපට පාසලේ ලබා දෙන ගෙදර වැඩ අතරට සවස 6 හෝ 9 ප්‍රවෘත්ති ඇසිය යුතුමයි. පසුවදාට ගුරුවරයා අසන එක ප්‍රශ්නයක් නම් ඊයේ සවස 6 ප්‍රවෘත්ති කී නිවේදකයා කවුද කියාය. එයින් කී ප්‍රථම ප්‍රවෘත්තිය කුමක්ද කියාය. අප භාෂාව පිළිබඳව යම් කිසි පුහුණුවක් ලබා ගත්තේ ඒ වචන උච්චාරණයෙන්. අද අපට දරුවන්ට අණ කරන්න බෑ ප්‍රවෘත්ති බලන්න කියලා. ස්ත්‍රී දූෂණ, මිනී මැරුම්, අපරාධ මිස කිසිවකුට ප්‍රිය ජනක ප්‍රවෘත්ති වර්තමාන ප්‍රවෘත්තිවල නෑ. මේ නිසා සමාජය ආතුරවීම ගැන පුදුමයක් නෑ. අද මාධ්‍ය සංස්කෘතිය අති දියුණුයි. රූපවාහිනී, ගුවන් විදුලි නාලිකා විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහෙත් සමාජයේ රසඥතාව වර්ධනය කිරීමට ඒවා අපොහොසත්. අද නිවෙස්වල කාන්තාවන් දවල්ටයි රෑටයි එකට උයාගෙන සවසට රූපවාහිනිය ඉදිරියට වී නරඹන්නේ කැඩිච්ච පවුල්වලට හෙණ ගැසූ කථා ඇතුළත් වෘත්තාන්ත. මේ නිසා ගෙදර ඉගෙන ගන්න දරුවා නන්නත්තාර වී බලා සිටිනවා. දරුවන්ගේ කඩාවැටීම්වලට මවුපියන්, වැඩිහිටියන් සැබැවින්ම වගකිව යුතුය. රටක දියුණුවට ඒ රටේ නීතිය යහපත් ලෙස ප්‍රතිෂ්ඨාපනය විය යුතුයි. නීතිය මත පාලනය නොවන රටක දරුවන්ට අත්වන ඉරණම ඛේදජනකයි. ඉදිරියේ දී පිටරටට යන කිසිම දරුවකු නැවත ලංකාවට පැමිණෙන්නේ නෑ. ඉගෙන ගත් දරුවන් පිටරටට ගොස් නොපැමිණීම පිළිබඳව ඔවුන්ට දොස් පැවරිය නොහැකියි. ඊට අපම වගකිව යුතුයි.

ඡායාරූපය - කැලණිය විශේෂ

නව අදහස දක්වන්න