වියළි කාලගුණය තවදුරටත් දෛනික විදුලි ඉල්ලුම ඉහළට | දිනමිණ

වියළි කාලගුණය තවදුරටත් දෛනික විදුලි ඉල්ලුම ඉහළට

අනුර ප්‍රේමලාල්
චමීර ඇල්ලදෙණිය

දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් පැය 2කින් පමණ ඉහළ ගොස් ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

රටේ වියළි කාලගුණික තත්ත්වයක් පැවතිය ද බාධාවකින් තොරව විදුලිය ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම 75% ක මට්ටමක පවතින බව ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජනතාවගේ සාමාන්‍ය ජල පරිභෝජනය ඉතා විශාල වශයෙන් වැඩි වී ඇති බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ හේතුවෙන් ජනතාවට අවශ්‍ය ජලය නළ පද්ධතියට මුදා හැරිය ද කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් උස් ප්‍රදේශවල ජල සැපයුමට බාධා පැමිණ ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි.

අතවශ්‍ය කටයුතුවලට හැර වාහන සේදීම, ගෙවතු අලංකරණය, පිහිනුම් තටාක නඩත්තු ආදී කටයුතු සඳහා පිරිපහදු කළ නළ ජලය හැකි තරම් සීමා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ අතර තවදුරටත් වැසි රහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නව අදහස දක්වන්න