අද වනස්පතිය ඊයේ පැළයක් | දිනමිණ

අද වනස්පතිය ඊයේ පැළයක්

ඇමැති මහින්ද අමරවීර කියයි

අද අප අපට මේ මහා වනස්පතීන් නැත්නම් මහා වෘක්ෂ රාජයන් බවට පත්වී තිබෙන සියලු ගස් මීට වසර දහයකට විස්සකට ඉස්සරවෙලා පුංචි පැළ වශයෙන් තිබුණ ඒවායි. පැළයක් කියන්නේ කුඩා දරුවන් වගේයි. අපි අපේ කුඩා දරුවන් ට හොඳින් කෑමබීම වගේම ආදරයත් දීලා හදනවා වගේ මේ පුංචි පැළවලටත් නිසිකළට පොහොරටික, වතුර ටික වගේම ආදරයත් ලබා දෙන්න ඕනෑ. එතකොට තමයි දරුවෝ උස්මහත් වෙලා යහපත් ප්‍රතිඵල ලබා දෙනවා වගේ මේ පුංචි පැළත් අනාගතයේ දී මහා ගස්වෙලා අපිට හොඳින් ඵල ලබා දෙන්නේ යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ ඉකුත්දා (08දා) බණ්ඩාරවෙළ කහත්තේවෙල පැවැති උත්සවයක් අමතමිනි. ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ආදර්ශ ගම්මානය වන බණ්ඩාරවෙළ කහත්තේවෙළ ගම්මානයේ ගොවීන්ට පලතුරු පැළ, 6500ක් හා යුද හමුදාවට කොස් පැළ 15, 000ක් ද ගොවින් වෙත බීජ අර්තාපල් හොණ්ඩර 102ක් ද ලබා දීම සම්බන්ධයෙන් මෙම වැඩ සටහන පැවැති අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික ව්‍යවසායකත්ව ගම්මාන ව්‍යාපෘතිය හා කහත්තේවෙල විහාරස්ථානය එක්ව මෙම වැඩ සටහන සංවිධානය කර තිබිනි.

මෙම අවස්ථාවේ දී කහත්තේවෙල පාසලේ දරුවන්ට පලතුරු පැළ අමාත්‍යවරයා අතින් ලබා දුන් අතර ඊට එම විදුහලේ ආචාර්යවරු හා දරුවන් ද සහභාගි වුහ.

මෙහි දී අදහස් පළ කළ අමාත්‍යවරයා- දැන් මේ වනවිට අප රටේ දිස්ත්‍රික්ක ගණනාවක් නියඟයට ගොදුරු වෙලා. ඒ අයට නියං සහනාධාර අඛණ්ඩව ලබා දීමට රජය තීරණය කළා. පසුගිය වසර තුන ගත්විට අප රටේ නියං සහගත තත්ත්වය නිසා වගාවන්ට විශාල හානියක් වුනා. වී නිෂ්පාදනය සියයට 40කිනුත්, අනෙකුත් බෝග වගාවන් සියයට 30කිනුත් පහත වැටුනා. රජය විසින් නියං සහනාධාර ගොවීන්ට ලබා දීම සඳහා දැනට රු.මි. 38, 000ක් වැය කර තිබෙනවා. මෙතෙක් රජයක් විසින් නියං සහනාධාර සඳහා වැය කළ වැඩිම මුදල ලෙස එය බවයි මගේ හැගීම.

අපි දැන්මම අපිට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය අපිම වගා කිරීමට පියවර නොගත්තොත් ඉදිරි නියග කාලවල දී අපිට විශාල ගැටලුවක් ඇතිවෙනවා. ඒ නිසා තමයි මම අපි වවලයි අපි කන්නේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඒ යටතේ අපි කොස් පැළ හා පලතුරු පැළ ලක්ෂ 20ක් පමණ රෝපණය කිරීමට අපේක්ෂා කරනවා. දැනටමත් මෙම වැඩ සටහනට විශාල පිරිසක් දායකත්වය ලබා දී තිබෙනවා. යුද හමුදාව, විශ්‍රාමික හමුදා නිලධාරින්, සිවිල් ආරක්ෂක බලකාය, අධ්‍යාපන අමාත්‍යාංශය වැනි ආයතන රැසක් අපිත් සමඟ එකතු වී සිටිනවා.

අද මාධ්‍ය තුළ මෙවැනි වැදගත් කාරනාවලට තැනක් නැහැ. කවුරු හරි දේශපාලකයෙක් කොහේ දී හරි කට කැඩිච්ච කතාවක් කිව්වොත් ඒවා සියලුම මාධ්‍යවල ප්‍රමුඛත්වය ලබා දී පළකරනවා. නමුත් අපේ රටේ මහජනතාවට අවශ්‍ය දේවල් අපිම වගා කරන්නට ගන්නා වැඩ සටහන්වලට මාධ්‍ය තුළ තැනක් නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය.

ඒකට කමක් නැහැ. අපි රට වෙනුවෙන් කළයුතු දේවල් අපි කරනවා. අද ඔබට ලබා දෙන මෙම පැළ වර්ග සියල්ලම වටිනා දේවල්. ඒවායින් අනාගතයේ දී ඔබට යහපත් ඵල ලබා දේවි. එම පැළ හොඳින් රැක බලා ගන්න. දරුවන්ට වගේ ආදරයෙන් සළකන්න. හදා වඩා ගන්න. ඔබට සරුපිරි ගෙවත්තක අලංකරණය ඔබට දැක ගන්නට හැකිවේවි. මං හිතන්නේ නැහැ ඊට සමාන කළ හැකි වෙනත් ආශ්වාදයක් තවත් ඇති කියළා යැයි ද ඇමැතිවරයා මෙහි දී කීය.

නව අදහස දක්වන්න