වොලිබෝල‍යෙන් ආසියාවේ පෙරට එන්න සැරසෙන අපේ කොල්ලෝ | දිනමිණ

වොලිබෝල‍යෙන් ආසියාවේ පෙරට එන්න සැරසෙන අපේ කොල්ලෝ

 ආසියානු වොලිබෝල් තරග බිමේ 9 වැනි ස්ථානයේ සිට 18 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගතව සිටින කණ්ඩායම් අතර ප්‍රථම වරට පැවැත්වෙන ආසියානු කුසලාන වොලිබෝල් තරගාවලිය මේ මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ආසියානු වොලිබෝල් සම්මේලනයේ සාමාජිකත්වය හිමි රටවල් 65ක් පවතින අතර ඉන් ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 8 ආසියානු වොලිබෝල් තරගාවලියට තරග වදින බැවින් 9-18ත් අතර කණ්ඩායම් 10 මේ වසරේ සිට ආසියානු කුසලාන තරගාවලියට එක්වෙයි. මේ තරගාවලියේ ශූරයන් හා අනුශූරයන්ට ආසියාවේ මුල් කණ්ඩායම් 8 අතරට පිවිසීමේ අවස්ථාව උදාවෙයි.

අාසියාවේ ශ්‍රේණිගත කිරීම්වල 7-8 ස්ථාන වෙත පිවිසීමේ බලාපොරොත්තුවෙන් දැනට 14 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව සමගින් මැලේසියාව, හොංකොං, සෞදි ආරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බංග්ලාදේශය, මොංගෝලියාව, ඉරාකය, උස්බෙකිස්තානය සහ ෆිජී රාජ්‍ය සුදුසුකම් ලබා සිටි අතර උස්බෙකිස්තානය සහ ෆිජී කණ්ඩායම් තරගාවලියට එක් නොවෙයි.

ශ්‍රී ලංකා සංචිතය

දහහතර දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ නායකයා ලෙස චාමර මිහිරාන් කටයුතු කරයි.

වසර 10ක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. මේ වසරේ දී පළමු වරට නායක්තවයට පත්වූ චාමර පසුගියදා නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලැබිණි.

මේ කණ්ඩායමට විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 5දෙනකු ඇතුළත්ව ඇති අතර යුද හමුදාවෙන් සහ වරාය අධිකාරියෙන් ක්‍රීඩකයන් තිදෙනකු, ගුවන් හමුදාවෙන් ක්‍රීඩකයන් දෙදෙනකු සහ දොම්පේ සියනෑ ජාතික පාසලේ ආදි සිසුවකු ඇතුළත්ව සිටිති.

ජ්‍යෙෂ්ඨයන් සහ යොවුන් ක්‍රීඩකයන් මිශ්‍රණයකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට යුද හමුදාව නියෝජනය කරමින් එක්ව සිටින 32 හැවිරිදි ශමිල් මලින්ද සිල්වා මේ කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වන අතර ඔහු වසර 2005 සිට ජාතික කණ්ඩායම නියෝජනය කරයි. හිටපු නායකයකු වන 29 හැවිරිදි ජනිත් සුරත් 2007 වසරේ සිට ජාතික කණ්ඩායමට එක්ව ඇති අතර ඔහු ජාත්‍යන්තර තරග අත්දැකීම් අතුරින් ඉදිරියෙන්ම පසුවෙයි. 30 හැවිරිදි වියේ පසුවන නායක චාමර සමගින් 28 හැවිරිදි ගයාන් මධුසංක 2008 වසරේ සිට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන අතර ඒ.ඩබ්.ලක්මාල් (අවු.27) 2009 වසරේ සිටද, දීප්ති රමේෂ් (අවු.26) 2011 සිටද, ප්‍රමේස් ප්‍රසන්න (අවු.27) 2013 වසරේ ද ජාතික පිලට එක්වුහ.

23 හැවිරිදි ලසිඳු මෙත්මල් ස අයේෂ් දිල්හාන් 2015 වසරේ සිටත්, තිස්හැවිරිදි කසුන් චතුරංග 2016 සිටත් ජාතික පිල නියේජනය කරති.

විසිතුන් හැවිරිදි වියේ පසුවන ෂෙහාන් විමුක්ති, ධනුෂ්ක ප්‍රනාන්දු සහ මලිත්ද සිල්වා (අවු.26) මේ වසරේ සිට ජාතික කණ්ඩායමට එක්වූහ.

මේ කණ්ඩායම නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.

සර්බියානු පුහුණුකරුගේ පැමිණීම

මේ වසරේ පෙබරවාරි 13 වැනිදා සිට ජාතික වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සර්බියානු ජාතික ඩිජාන් චුලිසිවික් මහතා වැඩ භාර ගත්තේය.

එතැන් සිට ශ්‍රී ලංකාව සහභාගිවූ ජාත්‍යන්තර තරගාවලියන්හිදී වැඩි දස්කම් දැක්වීමට සමත්වීම කැපී පෙනුණි.

මේ වසරේ අගෝස්තු මාසයේ මියන්මාරයේදී පැවැති ආසියානු ක්‍රීඩා සමාජ පිරිමි වොලිබෝල් තරගාවලියේ රටවල් 16ක් අතුරින් 7 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිලට (ලංකා ලයන්ස්) කණ්ඩායම සමත් විය. එහිදී ඔවුන් සහභාගිවූ තරග හතෙන් 5ක් ජය ගැනීමට සමත් විය. පසුගිය වසරේ පැවැති මේ තරගාවලියේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 11 වැනි ස්ථානයයි. මේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර වොලිබෝල් පිටියේදී ලබාගත් ඉහළම ජය ලෙසද ඉතිහාසයට එක්විය. මෙය ඩිජාන් මහතගේ පුහුණු යටතේ එක්වූ පළමු තරගාවලියයි.

ඉන්දුනීසියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී කණ්ඩායම් 20ක් අතුරින් 13 වැනි තැන ශ්‍රී ලංකාවට හිමිවිය.

මේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල විසින් වියට්නාමය දෙවරක්, මාලදිවයන සහ නේපාලය පරාජය කිරීමට සමත් විය.

නව පුහුණුකරුගේ අදහස වී තිබුණේ එළැඹෙන ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් මේ තරගාවලි දෙකේදී අත්හදා බැලීම් කළ යුතු බවයි. ඒවා බොහෝ දුරට සාර්ථක වූ බව ඔහු පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සතුව දක්ෂතාවත්, ශාරීරික යෝග්‍යතාව සහ විනයවත් බව මෙන්ම කණ්ඩායම සතුව යොවුන් ක්‍රීඩකයන් රැසක් සිටීමත් පුහුණුකරුගේ ප්‍රසාදයට ලක්ව තිබේ.

එහෙයින් ඔහුගේ පුහුණු කටයුතු පහසුවන බවත්, යොවුන් ක්‍රීඩකයන් වෙනස් කිරීම ඉතා පහසු බැවින් ලොකු වෙනසක් නොකරම කණ්ඩායම ඉදිරියට ගෙන යා හැකිබව ඔහුගේ අදහසයි. නව පුහුණුකරු සම්බන්ධයෙන් අදහස් දැක්වූ නායක චාමර පැවැසුවේ නව ආකාරයට පුහුණුවීම් කිරීමත්, ශ්‍රී ලංකා පුහුණුකරුවන් සතුව නොවූ නව උපක්‍රම රැසක් තම කණ්ඩායමට ලබාදීමත් හේතුවෙන් දැන් කණ්ඩායමට හොඳ තත්ත්වයක සිටින බවයි.

ශ්‍රී ලංකා වොලිබෝල් සංචිතය:

චාමර මිහිරාන් (නායක - යුද හමුදාව), ජනිත් සුරත් (වරාය අධිකාරිය), ශමිල් මලින්ද සිල්වා (යුද හමුදාව), ගයාන් මධුසංක (විදුලිබල මණ්ඩලය), ප්‍රමේෂ් ප්‍රසන්න සුදසිංහ (ගුවන් හමුදාව), ඒ.ඩබ්.ලක්මාල් (විදුලිබල මණ්ඩලය), ෂෙහාන් විමුක්ති (වරාය අධිකාරිය), කසුන් චතුරංග ප්‍රනාන්දු (විදුලිබල මණ්ඩලය), ධනුෂ්ක දිල්ෂාන් ප්‍රනාන්දු (ගුවන් හමුදාව), ලසිඳු මෙත්මල් (වරාය අධිකාරිය), දීප්ති රමේෂ් රණවක (විදුලිබල මණ්ඩලය), වසන්ත ලක්මාල් (යුද හමුදාව), අයේෂ් දිල්හාන් (විදුලිබල මණ්ඩලය), මලිත් දිනිඳු

ඩිජාන් වුලිසිවික් (ප්‍රධාන පුහුණුකරු), චාල්ස් තිලකරත්න (සහාය පුහුණුකරු), නලින් සම්පත් අබේසිංහ (භෞත චිකිත්සක)

නිරෝෂාන් ප්‍රියංකර
ඡායාරූප - රංජිත් අසංක 

නව අදහස දක්වන්න