ජනතාව වෙනුවෙන් තම යුතුකම වගකීමෙන් ඉටු කරන්න | දිනමිණ

ජනතාව වෙනුවෙන් තම යුතුකම වගකීමෙන් ඉටු කරන්න

ස්වර්ණා විජේකෝන්

පොදු මහජනතාව විසින් තෝරාපත් කර ගන්නා මහජන නියෝජිතයන්ගෙන් අපේක්ෂිත මහජන සේවාවන් ඉටු නොවන බවත් මහජන නියෝජිතයින් 225 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුව තුළ විසි දෙනෙකුගෙන් යුත් ගණ පූරණය නොමැතිවීම කනගාටුවට කරුණක් බවත් මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

මහජනතාව විසින් මහජන නියෝජිතයින් පත්කරනු ලබන්නේ මහ ජනතාවට සේවය කිරීමට වන අතර එම සේවාවන් ඉටු නොවන්නේ නම් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමමේ අයිතිය සර්ව ආගමික නියෝජිතයන් හා මහජනතාවට ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.

මහජනතාව වෙනුවෙන් ඉටුකරන සේවාවන් ලෙස කුඩා විෂය පරාසයක් හඳුන්වා ගැනීමට මහජනතාව හා දේශපාලකයන් පුරුදු වී ඇති අතර මහජන සේවාව යනු පුළුල් විෂය පරාසයක් බවද මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සඳහන් කළේ සමාජ හා සාමයික කේන්ද්‍රයේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා

පුරවැසියන්ගේ සුභ සිද්ධිය පතා කටයුතු කිරීමට අප උත්තරීතර පාර්ලිමේන්තුව සඳහා මහජන නියෝජිතයින් 225 දෙනකුද, පළාත් සභා සඳහා 455 දෙනකුද සහ පළාත් පාලන ආයතන සඳහාද 8535 දෙනකු වශයෙන් ජනතා නියෝජිතයන් 9215 ක ප්‍රමාණයක් පත්කරගෙන තිබෙනවා. එය මුළු ජනගහනයට සාපේක්ෂව ජනගහනයෙන් 2170ක් සඳහා එක් මන්ත්‍රීවරයෙක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. මෙම පිරිස නඩත්තු කිරීම සඳහා (දීමනා, වාහන, දුරකථන, කාර්යාල, කාර්යය මණ්ඩල සහ ආරක්ෂාව) ජනතාවගේ බදු මුදල්වලින් මිලියන ගණනක් මාසිකව වැය කිරීමට සිදුව තිබෙනවා.

පොදු මහජනතාව විසින් තෝරාපත් කර ගන්නා මහජන නියෝජිතයන්ගේ වගකීම නම් මූල්‍ය පාලනය , ප්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදන ක්‍රියාවලියට දායක වීම ආදියයි. නමුත් එම ක්‍රියාවලීන් වෙනුවෙන් මහජන නියෝජිතයන්ගේ දායකත්වය නිවැරදිව සිදු වෙනවාද යන ගැටලුව තිබෙනවා.

මේ සා විශාල ධනයක් වැය කළද මහජනතාව‍ගේ නියෝජිතයන් ලෙස පත්වන මහජන නියෝජිතයන් සිය වගකීම නිවැරදිව ඉටු කරන්නේද යන ගැටලුව තිබෙනවා. මහජන නියෝජිතයන් තේරි පත්වන්නේ ජනතාවට සේවය කිරිම වෙනුවෙන්. නමුත් ඔවුන් විසින් මහජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු සේවාවන් ඉටු වනවාද යන ගැටලුව තිබෙනවා. මහජන නියෝජිතයා කෙතරම් කාර්යබහුල වුවත් ඔවුන්ගෙන් විය යුතු ප්‍රමුඛ කාර්යය අමතක නොකළ යුතුයි. මසකට දින 7ක් හෝ 8ක් රැස්වන පාර්ලිමේන්තුව ගණ පූරණය හෙවත් 20 දෙනකු නොමැති වීම නිසා කල්දමන්නේ නම් එය ඉතා කනගාටුදායක තත්වයක්. ගණ පූරණය හෙවත් පාර්ලිමේන්තුවේ 225න් 20 යනු පාර්ලිමේන්තුවෙන් 8% ක් පමණයි. ගණ පූරණය නොමැති වීම නිසා සභාවාර කල් දැමීම මෙම වර්ෂයේදීම අවස්ථා ගණනාවකදී වාර්තා වුණා. එය ජනතා මුදල් විනාශ කිරීමක්. පාර්ලිමේන්තු රැස් කිරීම සඳහා දිනකට වියදම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 45ක්. මෙම අවාසනාවන්ත තත්ත්වය වළක්වා ගැනීම සඳහා පියවර ගැනීම සභා නායකවරයාගේ මෙන්ම පක්ෂ නායකයන්ගේද වගකීමක් බව අප අවධාරණය කරමු. මහජන නියෝජිතයන් ලෙස ඔබ නියෝජනය කරනු ලබන ජනතාව වෙනුවෙන් වගකීමකින් සහ වගවීමකින් යුතුව තම යුතුකම මැනවින් ඉටු කරන ලෙස මාර්තු 12 ව්‍යාපාරය ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මහජන නියෝජිතයන් තම සුඛවිහරණ සඳහා මහජන මුදල් භාවිත කරන ආකාරය බස්නාහිර පළාත් සභාව මෑතකදී පුටු මිලදී ගැනීම සඳහා දරන ලැබූ උත්සාහයෙන් පැහැදිලි ‍වෙනවා.

පළාත් පාලනයේ ද විශාල වෙනසක් නොපෙනෙන අතර වැඩි වූ සභිකයන් ප්‍රමාණයට ජන ජීවිතයේ සිදුවූ වෙනස කවරේද යන්න විමසා බැලීමට කාලය එළඹ තිබෙනවා. මෙතෙක් කාලයක් ඡන්ද දායක භූමිකාව නිරූපණය කළ ඔබ වහ වහා වඩා දියුණු සක්‍රීය පුරවැසි භූමිකාවකට අවතීරණය විය යුතුය. ඔබ විසින් පත්කර යැවූ මහජන නියෝජිතයන් සිය වගකීම නිසි පරිදි ඉටු කරන්නේද යන්න සොයා බැලිය යුතුය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජිත මංජුල ගජනායක මහතා

අසමත් පාර්ලි‍මේන්තුවක් අභියස සිටින අසමත් පිරිසක් ලෙස අද අපි කාලය ගත කරනවා. සීමා නීර්ණ වාර්තාව ඇතුළු පළාත් සභා මැතිවරණයට අදාළ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී ඊ‍ට එරෙහිව ඇමැතිවරයාත් ඡන්දය ප්‍රකාශ කරනවා. ඒ වගේම එදිනත් ගණ පූරණය නොමැති වෙනවා. ඒ වගේම මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතන වෙත තේරිපත් වුණාට ඔවුන්ගේ වගකීම ඉටුකරනවාද යන ගැටලුව තිබෙනවා. අතීතයේ පාලකයන්ට උපදෙස් දුන්නේ ආගමික නායකයන් විසින්. අවාසනාවකට අද වනවිට ආගමික නායකයන්ගෙන් සුළු පිරිසක්ද තමන්ට ලැබෙන වරදාන වරප්‍රසාද අනුව දේශපාලනයේ නිරත වෙනවා. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

සර්වෝදය ව්‍යාපාරයේ චාමින්ද රාජකරුණා, විද්වත් වෘත්තීකයන්ගේ සංගමයේ ආතාවුද ජයවර්ධන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මංජුල ගජනායක මහතා ඇතුළු පිරිසක් මෙහිදි අදහස් දැක්වූහ.

 

නව අදහස දක්වන්න