අන්තර්ජාතික සම්මන්ත්‍රණයට පර්යේෂකයන් 2000ගෙන් වාර්තා | දිනමිණ

අන්තර්ජාතික සම්මන්ත්‍රණයට පර්යේෂකයන් 2000ගෙන් වාර්තා

විජයානි එදිරිසිංහ

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් වසරක් පාසා පවත්වන 11 වැනි අන්තර් ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය දෙස් විදෙස් විද්‍යාඥයන්, පර්යේෂකයන්, ආචාර්ය මහාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) එම විශ්වවිද්‍යාලයේ දී පැවැත්විණි.

‘සහයෝගීත්වය තුළින් වෘත්තීය විශිෂ්ටත්වය අත්පත් කර ගැනීමයි යන තේමාව යටතේ මේ සම්මන්ත්‍රණයට දෙස් විදෙස් පර්යේෂකයන් දෙදහසකගෙන් පමණ නව පර්යේෂණ වාර්තා රැසක් ඉදිරිපත් වී තිබුණි. එම විශ්වවිද්‍යාලයේ උපකුලපති අද්මිරාල් ජගත් රණසිංහ මහතාගේ ආරාධනයෙන් එම විද්වතුන් පැමිණ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර තිබුණි.

ආරක්ෂක සහ සිවිල් විද්වතුන් සිය පර්යේෂණාත්මක සහ ශාස්ත්‍රීය අධ්‍යයන තුළින් අත්පත් කරගත් දැනුම හුවමාරු කර ගන්නා ලොව ප්‍රමුඛතම පර්යේෂණ සම්මන්ත්‍රණය ලෙස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සම්මන්ත්‍රණය වාර්තාගත වී ඇත.

සෑම වසරක් පාසාම විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පන්සියයකට අධික පර්යේෂණ පත්‍රිකා ප්‍රමාණයක් මේ සම්මන්ත්‍රණයට ඉදිරිපත් වන අතර, මෙවර ඒ සඳහා දහසකට ආසන්න පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් වී තිබේ. එසේම ලොව පුරා සිටින පර්යේෂකයන් දෙදහසක පමණ පිරිසක් මේ සම්මන්ත්‍රණයට පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීම පසුගිය පර්යේෂණ සම්මන්ත්‍රණවලට වඩා මේ සම්මන්ත්‍රණයේ විශේෂ කරුණක් වෙයි.

මේ සම්මන්ත්‍රණයේ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා කියා සිටියේ අද ලෝකයේ විවිධ රටවල ඇති විශ්වවිද්‍යාල අතර තත්ත්වයෙන් ඉහළම තැනක ඇති විශ්වවිද්‍යාල අතරට ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද ගැනෙන බවයි. අධ්‍යාපනය මෙන්ම විශේෂයෙන් විනය අතින් ඉතාමත් විශිෂ්ට ලෙස පවත්වාගෙන යන මේ විශ්වවිද්‍යාලය මීට වසර ගණනාවක් එහාට තිබූ තත්ත්වය හා සසඳන විට විවිධ පාඨමාලා, පහසුකම් ආදිය අතින්ද වැඩි දියුණු වී ඇති බවයි.

ඉංජිනේරු, වෛද්‍ය පමණක් නොව ‍වෙනත් විවිධ වූ නව තාක්ෂණය හා සබැදුන පාඨමාලා මෙන්ම විශ්වවිද්‍යාලයේ වේරහැර පිහිටි ජෝන් කොතලාවල රෝහල, දකුණේ පිහිටි විශ්වවිද්‍යාල පීඨය ඇතුළු තවත් වැඩි දියුණු වූ අංග රැසක් සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා දැඩි ඇගයීමකට ලක් කෙළේය.

ඒ අතර මේ විශ්වවිද්‍යාලය මේ ආකාරයෙන් ආරම්භ කර ඇති පර්යේෂණ සම්මන්ත්‍රණය 11 වැනි වරටත් මේ ආකාරයෙන් දෙස් විදෙස් පර්යේෂකයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට හැකිවීම එම විශ්වවිද්‍යාලය තවතවත් ජාත්‍යන්තරය අතර කැපී පෙනෙන්නක් බවද කපිල වෛද්‍යරත්න මහතා පෙන්වා දුන්නේය.

මෙරට හිටපු අගමැතිවරයකු වූ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ට අයත් එතුමාගේ නිවස ද සහිත මේ විශ්වවිද්‍යාලය පිහිටි භූමිය මේ විශ්වවිද්‍යාලය වෙනුවෙන් ලබාදී කර ඇති පරිත්‍යාගය ද ආරක්ෂක ලේකම්වරයා මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය. ඒ සඳහා හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා දැක් වූ සහයෝගය ද ආරක්ෂක ලේකම්වරයා විසින් සිහිපත් කරනු ලැබිණි.

මේ 11 වැනි සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා විසින් පවත්වනු ලැබීය. 2007 වසරේ එම නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ජාතික මණ්ඩලයේ උප සභාපති ධුරයද තිරසර ශ්‍රී ලංකා 2030 දැක්ම පිළිබඳ වූ ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපති ධුරයද හොබවයි.

අනතුරුව ආචාර්ය සරත් ගුණපාල මහතා විසින් අභ්‍යවකාශය, පරිසරය ඇතුළු මාතෘකා රැසක් ඔස්සේ 2වැනි දේශනය පවත්වනු ලැබිණි.

මෙවර සම්මන්ත්‍රණය සැසිවාර නවයක් යටතේ සංවිධානය කර තිබුණි. ජාතික සහ අන්තර්ජාතික විද්වතුන්ට විවිධ පර්යේෂණ ක්ෂේත්‍ර ඔස්සේ ස්වකීය ශාස්ත්‍රීය හා පර්යේෂණ දැනුම හුවමාරු කර ගැනීම මෙහිදී සිදුවෙයි.

ඉංජිනේරු සැසිවාරය ජීව වෛද්‍ය ඉංජිනේරු, විදුලි, විදුලි සංදේශ යාන්ත්‍රික ඉදිකිරීම්, ගඟන ඉංජිනේරු, හා නාවුක ඉංජිනේරු සැසිවාරය පැවැත්වෙයි.

පූර්ව සායනික, පසු සායනික හා සායනික යන ක්ෂේත්‍ර ආවරණය කරමින් වෛද්‍ය සැසිවාරය පැවැත්වෙයි.

හෙද වෛද්‍ය පර්යේෂණාගාර විද්‍යාව ඖෂධාගාර, භෞතචිකිත්සක, විකිරණවේද යන ක්ෂේත්‍ර ඔස්සේ සෞඛ්‍ය සැසියද ජාත්‍යන්තර නීති අපරාධ නීතිය යුද නීතිය ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ නීති ක්ෂේත්‍රයද පරිගණක තොරතුරු තාක්ෂණය පරිගණක සැසිවාරයේද ඇතුළු සැසිවාර 9 පැවැත්වෙයි.

හොඳම පර්යේෂණයට මෙහිදී ත්‍යාග පිරිනැමෙයි.

මේ අවස්ථාවට ගුවන් හමුදාපති, නාවික හමුදාපති මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, ආරක්ෂක අංශවල ‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

නව අදහස දක්වන්න