වියපත් නොවූ පැහැපත් ප්‍රේමය | දිනමිණ

වියපත් නොවූ පැහැපත් ප්‍රේමය

ෆවුස් මොහොමඩ්

‘මම ඇවිදින්න කැමතියි...එය මගේ මනස නිදහස් කරනවා. බිරිඳ ගැන වැඩිපුර කාලයක් හිත හිතා ඇවිදින්න පුළුවනි. මිනිස්සු මට අනතුරු අඟවනවා මම දැන් ඇවිදින්න සුදුසු වයසක නෙවෙයි ඉන්නේ කියා. එගොල්ලෝ මට ඉරිසියා කරනවා ඇති. මොකද මම මත්පැන් ගන්නේ නෑනේ. අනික දුම් පානය කරන්නෙත් නෑනේ. මම ඒවා කළා නම් මේ වෙද්දි මගේ බිරිඳව රැකබලා ගන්නේ කවුද..?

මේ ආදරණිය මහල්ලා තමන්ගේ ජීවිතයට අවුරුදු 55ක්ම අත්වැලක් වුණු බිරිඳගේ සුවඳ විඳගන්න.අවසන් හුස්ම පොද වාතලයට මුසුවෙන්න කලින් තවත් එක වතාවක් දැකබලාගන්න...ආදරය කරන්න පටන් ගත්තු කාලේදි වාගේම දොඩමළු වෙන්න.... හිතේ දහසකුත් බලාපොරොත්තු දවසින් දවස අලුත් කරගන්නවා. ඒවාට පාට දෙන්න සැතපුම් 6ක් දුර ගෙවාගෙන බිරිඳ සොයා යනවා.

සැබෑ ආදරය කෙළවර වෙන්නේ මරණයෙන් බව විලියම් ශේක්ෂ්පියර්ගේ රෝමියෝ ජුලියට් ආදර කතාව අපිට හරි අපූරුවට කියා දුන්නා. ඇත්තටම ආදරය කියන්නේ මහා පුදුමාකාර හැඟීමක්. මිනිස්සු ජිවිතය කියවන්න පටන්ගත්තු දා ඉඳලා එකිනෙකාට ආදරය කරනවා. ඒ ආදරය කිසිම බලවේගයකට නතර කරන්න පුළුවන් දෙයකුත් නෙවෙයි.

සමහර ආදර කතා අතරමග නතරවෙනවා. තවත් සමහර ඒවා ශේක්ෂ්පියර් කිව්වා වගේ මරණයෙන් නෙවෙයි ‍විවාහයෙනුයි කෙළවර වෙන්නේ. ඒත් ඇයි එහෙම වෙන්නේ කියලා කවුරුවත් හිතන්නේ නෑ. ඒක හරියට සම්මත දෙයක් වගෙයි. හරියට කොයිවෙලේ ආදරේ කරන්න බැරිද කියලා කියන්නාක් වගේ. විවාහය කියන්නේ කඩදාසියක අත්සන් කරලා නීත්‍යානුකූලව අයිති කරගන්නවා හැරෙන්න වෙන දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද...?

ඇත්තටම පෙම්වතා, පෙම්වතිය විවාහයෙන් පස්සේ සැමියා, බිරිඳ වුණාම ආදරය බාල වෙනවද...? කඩදාසියක අස්සන් කරලා අයිතිකරගත්තට පස්සේ ආදරයේ වෙනසක් වෙනවද..? ඒකට උත්තරයක් හොයාගත්තු දාට මිනිස්සු ජීවිතයේ අන්තිම මොහොතේදිත් එකිනෙකාට අඩුවක් නැතිව ආදරය කරාවි. හරියට ලූතර් වගේ.

ඔව්....

ලූතර් තමයි ඒ ප්‍රශ්නෙට හරියටම උත්තරය හොයාගත්තේ.

එයා අමෙරිකාවේ නිව්යෝක් නුවර අවුරුදු 99ක මහළු මිනිසෙක්...එහෙමත් නැතිනම් තවමත් ආදරය විඳින අපූරු පෙම්වතෙක්. එයා රෝහලක ගිලන්ව වැතිරී සිටින තමන්ගේ පෙම්වතිය නැතිනම් බිරිඳ දැකබලා ගන්න හැම දවසකම සැතපුම් 6ක් දුර පා ගමනින් යන බව ඔබ විශ්වාස කරනවාද...? ඒක තමයි එයාගේ ආදරයේ තරම...

මේ මහළු පෙම්වතාගේ නම ලූතර් යංගර්. මේ ආදරණිය මහල්ලා තමන්ගේ ජීවිතයට අවුරුදු 55ක්ම අත්වැලක් වුණු බිරිඳගේ සුවඳ විඳගන්න.අවසන් හුස්ම පොද වාතලයට මුසුවෙන්න කළින් තවත් එක වතාවක් දැකබලාගන්න...ආදරය කරන්න පටන් ගත්තු කාලේදි වාගේම දොඩමළු වෙන්න.... හිතේ දහසකුත් බලාපොරොත්තු දවසින් දවස අලුත් කරගන්නවා. ඒවාට පාට දෙන්න සැතපුම් 6ක් දුර ගෙවාගෙන බිරිඳ සොයා යනවා.

දැඩි හිරු රශ්මියට....අධික ශීතලයට... ඔරොත්තු නොදෙන වයසක පසුවුණත් මේ මහළු පෙම්වතා හිම වැටෙන වීදිය ඔස්සේ හෙමි හෙමිහිට වාරු අරන්...සැතපුම් 6ක දුරක් පසුකරමින්...මේ සොයා යන්නේ ආදරය නෙවේද...?

නිව්යෝක් නුවර ඔහු පදිංචිව සිටින රොචෙස්ටර් පළාතේ අසල්වැසියෝ හැමෝම මේ අරුම පුදුම ආදරය ගැන සිතමින් නළල් තල රැළිගන්වා ගන්නවා. හැමදාම උදෑසන වන්දනාවේ යන බැතිමතෙක් වගේ මහළු ලූතර් මේ යන ගමන ඊළඟ නිමේෂයේදී නතරවෙන බව කවුරුත් දැන සිටියත්... අසල්වැසියන්ගේ එකම ප්‍රාර්ථනය හැමදාටම ඒ ආදරය උණුසුම් වෙන්න දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා කියලයි.

ආදරය මත්තෙම හැපි හැපී ජීවිතය අලුත් කරගන්නා පෙම්වතුන් අපි වැඩිපුරම දකින්නේ තරුණ වියේදි පමණයි. විවාහ වුණාට පස්සේ ඒ ආදරය පරණ වෙනවා. මහළු වියට පා තබද්දි එවැනි ආදරයක් තිබුණාද කියලවත් විවාහක යුවළකට දැනෙන්නේ නෑ. මතකයක් නෑ. ඒත් ජිවිතයේ අන්තිම හැන්දෑවෙත් පෙම්වතා වෙනුවෙන්, පෙම්වතිය වෙනුවෙන් බලාපොරොත්තු දහසක් හිතැතුලේ ගුලිකරගෙන ජිවිතය කැප කරන මිනිස්සු ඉන්නවා නැත්තෙ නෑ. ලූතර් කියන්නේ අන්න ඒ වගේ මිනිහෙක්. මේ දෙන්නම දැන් වියපත් වෙලා...මරණයේ එළිපත්තේ සිටින්නේ. ඒත් ආදරයට ඒ කිසිවක් බාධාවක් නොවන බව ලූතර් දන්නවා.

අගෝස්තු ගිම්හානයේ උෂ්ණත්වය දරාගත නොහැකි තරම් වුවත් ඒ කිසිවක් ඔහු ගණනකට ගන්නෙ නෑ. මේ කතාව වෙබ් අඩවියට ලියා තැබූ එක්තරා පුවත්පත් වාර්තාකරුවෙක් එක් උදෑසනක ලූතර්ගේ නිවස ඉදිරිපිට පෙනී සිටියා. ඔහුට උවමනා වුණේ කවුරුත් කතාවෙන මේ අපූරු පුද්ගලයාගේ ආදරයේ දිග පළල හරියටම හොයාගන්නයි.

‘මගේ දුවත් හිතන්නේ මට පිස්සු කියලයි.’ පුවත්පත් වාර්තාකරුට එසේ කියා හඬ නඟා හිනැහුණු මහළු පෙම්වතා ඊළඟට ව්‍යායාම කරන්නට පටන් ගත්තා. ඉන් පසුව ගමනට සූදානම් වී මෙසේ කීවා.

‘හරි..එහෙනම් අපි යමු නේද...?’

අවුරුදු අනූගණන්වල මහළු මිනිසෙක් සැතපුම් 6ක් දුර ඇවිදයාම වාර්තාකරුට අලුත් අත්දැකීමක්. ඔහු ගමනට සූදානම් වුණේ ඒ අත්දැකීම රිසි සේ විඳගන්නයි.

වරෙක ඇවිදයමින්....තවත් වරෙක දිව යමින් මේ මහළු මිනිසා තම ආදරණිය බිරිඳ දැකබලා ගන්නට අඩිය ඉක්මන් කළා. පුවත්පත් වාර්තාකරුත් ඒ පසුපස නිසොල්මනේ ඇවිද යන්නට වුණා. දෙදෙනා අතර වැඩි කතාබහක් සිද්ධවුණේම නෑ.

‘මට වයිෆ් ගැන හැර වෙන දෙයක් ගැන කතා කරන්න ඕනෙත් නෑ’ ගමන ආරම්භයේදීම මහළු මිනිසා එසේ පවසා තිබුණු නිසා වාර්තාකරුවා වඩාත් පරිස්සම් වුණා.

පසුගිය අවුරුදු 9ක් තිස්සේම වේවලි මොළයේ පිළිකාවකින් පීඩා විඳිමිනුයි සිටියේ. වෛද්‍යවරු හිතුවේම ඇය තවත් අවුරුදු 5කට වඩා ජීවත්වෙන්නේ නැති බවයි.

‘මගේ අම්මටයි තාත්තටයි හරි ශක්තිමත් හිතක් තියෙනවා.’ ඔවුන්ගේ දියණිය ලුතේටා මේ වාර්තාකරුට කීවේ ලොකු කතාවක ආරම්භයක්.

ඒ අවුරුදු 9 පුරාම වේවලිගේ ජීවිතයෙන් හරි අඩක්ම ගෙවුණේ රෝහලේ. ඒ කාලයේදි වුණත් ලුතර් සිය බිරිඳ වෙතින් බිඳක්වත් ඈත් වුණේ නෑ. හැම දිනයකදීම රෝහලට ගොස් බිරිඳ අසළට වී කාලය ගත කිරීම ඔහුගේ දෛනික රාජකාරියක් වුණා. ඇතැම් දිනවල ලූතර්ගේ රැය පහන් වුණේ රෝහල් භූමියේ. ඔහු වඩාත්ම ආසා කළේ බිරිඳගේ ඇඳ අසළ බිම වැතිර රැය පහන් කරන්නටයි. දෙවියන්ට ස්තූති වෙන්නට අවුරුදු 9කට පස්සේ වේවලි පිළිකාවෙන් ජීවිතය බේරාගැනීමට තරම් වාසනාවන්ත වී සිටියා.

මෙවර ඇය රෝහල් ගත කෙරුණේ නියුමෝනියාව රෝගයට හසුවීම නිසයි. ලූතර් යළි සිය සුපුරුදු දෛනික රාජකාරිය ආරම්භ කළා. සැතපුම් 6ක් නිවසේ සිට රෝහල දක්වා....පා ගමනින්....

සැබැවින්ම ඔහුට තම දියණිය සමග මෝටර් රථයෙන් රෝහල වෙත යාමට පුළුවන්කමකුත් තිබුණා. ඒ වගේම බස් රියකින් පවා ගමන් කිරීමේ පහසුවත් තිබුණා. නමුත් ඔහු තෝරා ගත්තේ ඔහුගේම ක්‍රමයක්.

‘මට දුව එනතුරු හෝ බස් රියක් එනතුරු කාලය නාස්ති කරගන්න ඕන නෑ. මගේ බිරිඳ මා එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටිනවා. ඇයව මිනිත්තුවකට හෝ වේදනාවට පත් කරන්න මට බෑ.’

ඇතැම් දිනවල මහමගදී ඔහු දකින අසල්වාසීන් රෝහල කරා යාමට ඔවුන්ගේ මෝටර් රථයට ගොඩවන්නැයි කරන ආරාධනා ලූතර් ස්තූතිපූර්වකව ප්‍රතික්ෂේප කරනවා.

‘මම ඇවිදින්න කැමතියි...එය මගේ මනස නිදහස් කරනවා. බිරිඳ ගැන වැඩිපුර කාලයක් හිත හිතා ඇවිදින්න පුළුවනි. මිනිස්සු මට අනතුරු අඟවනවා මම දැන් ඇවිදින්න සුදුසු වයසක නෙවෙයි ඉන්නේ කියා. එගොල්ලෝ මට ඉරිසියා කරනවා ඇති. මොකද මම මත්පැන් ගන්නේ නෑනේ. අනික දුම් පානය කරන්නෙත් නෑනේ. මම ඒවා කළා නම් මේ වෙද්දි මගේ බිරිඳව රැකබලා ගන්නේ කවුද..?’ ඔහු එසේ අසයි.

සැබැවින්ම මෙලෙස දිනපතා සැතැපුම් 6ක් ඇවිද යාම අවුරුදු 99ක් වන ඔහුගේ ශාරිරික යෝග්‍යතාව පෙන්නුම් කරන කාරණාවක් පමණක්ම නොවෙයි. එය අවුරුදු 55ක්ම එකට ජීවිතය බෙදාහදා ගත් ආදරණීය බිරිඳට.... එකිනෙකාගේ දෑස් මායිමේ...එකිනෙකාගේ හුස්ම පොදේ උණුසුම විඳගනිමින් ජිවත් වූ ආදරණීය බිරිඳට ඔහුගේ ඇති ආදරයේ මහිමය කියාපාන කාරණාවක්.

‘එයා හරි ලස්සන කාන්තාවක්. එයාට පුළුවන් කාලේ මාව ආදරයෙන් රැකබලා ගත්තේ හරියට අම්මා කෙනෙක් වගේ. එයා මාව එහෙම පිටින්ම මිනිහෙක් කළා. ඇති තරම් ආදරය දුන්නා. මා වෙනුවෙන් ජිවිතයම කැප කළා. මගේ දුකසැප හොයලා බැලුවා. එයා හරි ශක්තිමත් ගැහැනියක්. මම මානසිකව වැටෙද්දී මාව ශක්තිමත් කළේ හරියට ගුරුවරියක් වගේ. ඉතිං එයා වෙනුවෙන් මේ සැතපුම් 6ක පොඩි දුරක් මං ඇවිද ගියාම මොකෝ...?’

නව අදහස දක්වන්න