රත්නපුර ශ්‍රී සුමන සමන් මහා දේවාලය අලුත්වැඩියාවට ඇමැති පාඨලී මැදිහත් වුණා | දිනමිණ

රත්නපුර ශ්‍රී සුමන සමන් මහා දේවාලය අලුත්වැඩියාවට ඇමැති පාඨලී මැදිහත් වුණා

මානෙල් පුෂ්ප කුමාරි

වසර 400 කට අධික පුරාවිද්‍යා උරුමයක් ඇති රත්නපුර ශ්‍රී සුමන සමන් මහා දේවාලය ගරා වැටෙමින් තිබියදී ඇමැති පාඨලී චම්පික රණවක මහතා දේවාලය අලුත්වැඩියාකර සංරක්ෂණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන රුපියල් මිලියන 80 ක මුදලක් වෙන් කර ගත් බව විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු හා කන්ද උඩරට පිළිබඳ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා මේ සේද කීය:

තමන්ගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීමට පමණක් මෙම දේවාලයට විශාල බැති මතුන් පිරිසක් පැමිණියත් කිසිවෙකුවත්, පැවැති කිසිදු ආණ්ඩුවක්වත් මෙම ගරා වැටෙමින් පැවැති මහා දේවාලය පිළිසකර කිරීමට පෙළඹුණේ නැහැ. නමුත් වර්තමාන ආණ්ඩුව මෙම කටයුත්තට අත ගැසීමත් සමන් දෙවියන්ගේ බැල්ම ලැබීම නිසා විය හැකියි.

පෘතුගීසීන් මෙරට ආක්‍රමණය කිරීමෙන් පසු මෙම දේවාලය සම්පූර්ණයෙන් ම විනාශයට පත් වුණා.

මේ වන විට දර්ශනීය සමන් දේවාලයක් පෙරහැර නැරඹීමට පැමිණෙන බැති මතුන්ට දැක බලා ගත හැකි වන බව හෙතෙම කීය.

රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ ඇසල මහා පෙරහැර පිළිබඳව ඊයේ (17) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා මේ බව පැවැසීය.

එහි පුරාවිද්‍යාත්මක උරුමය ආරක්ෂා වන පරිදි සියලු නිමවුම් කටයුතු සිදු කළ යුතුව ඇති බව කී පරණවිතාන මහතා සෙවිලි කර තිබූ කැඩී බදී ගිය පැරණි උළු ඒ ආකාරයෙන් ම නිමවා දේවාලයේ වහළය සෙවිළි කළ බවත් වාස්තු විද්‍යා කටයුතු, වාහල්කඩ ආදිය සියලු පැරණි නිමවුම් පැවැති ආකාරයෙන් ම පිළිසකර කළ බවත් කීය.

මේ මස 08 දින පිරිත් සඡ්ඣායනයෙන් අනතුරුව ආරම්භ කළ සුමන සමන් මහා දේවාලයේ පෙරහැර කටයුතු සඳහා කප් සිටුවීම 10 දින සිදු කළ බවත් පැවැසූ අතර සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා මේ මස 25 දින අවසන් මහා රන්දෝලි මහා පෙරහැර පවත්වා පසු දින (26) දහවල් කළු ගඟ ආශ්‍රය කරගෙන දිය කැපීමෙන් අනතුරුව සියලු පෙරහැර කටයුතු අවසන් කරන බව පැවැසීය.

රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලයේ ආශීර්වාදය ලබාගෙන තමන්ගේ සියලු සිතුම් පැතුම් ඉටු කර ගන්නා ලෙසත් බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා බැති මතුන්ගෙන් ඉල්ලා සිටියි.

පෙරහැර නැරඹීමට පැමිණෙන සියලු බැති මතුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවත් හෙතෙම මෙහිදී කියා සිටියේ ය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ.විජේතුංග මහතා ද මෙහිදී පෙරහැර කටයුතු පිළිබඳව අදහස් දැක්වීය.

නව අදහස දක්වන්න