ප්‍රමාණවත් සාක්ෂි නැතිව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ජනපති එකඟ නෑ | දිනමිණ

ප්‍රමාණවත් සාක්ෂි නැතිව හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට ජනපති එකඟ නෑ

හමුදා නිලධාරීන් හමුදා අරමුණුවලින් තොරව පෞද්ගලික වෛරයකින් කටයුතු කර ඇත්නම් ඒ අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කළ යුතු වුවත් සාක්ෂියක් නොමැතිව විවිධ පුද්ගලයින්ගේ වුවමනා මත හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගැනීම නොකළ යුතු බව ජනාධිපතිවරයා පැවසුවේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.

රට බේරා ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීම බවද කිසිසේත් රණවිරුවන් පාවා දීමට රජය සුදානම් නැති බවද ඇමතිවරයා කීවේය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සමරසිංහ මහතා මෙසේ ද කීවේය. පසුගිය දා ජනාධිපතිවරයා කැඳවූ විශේෂ කැබිනට් මණ්ඩලයේ දී විශේෂ කරුණු කිහිපයක් ගැන කරුණු ඉදිරිපත් කළා. කුමන ආකාරයෙන් හෝ මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් කවුරු විසින් හෝ සිදු කරනවා නම් නිලය, තනතුරු නොබලා විධිමත් අන්දමින් කටයුතු කර නඩුවක් ගොනු කිරීම ගැන තර්කයක් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා. නමුත් නඩුවක් ගොනු කිරීමට තරම් සාක්ෂි සොයා නොබලා උසස් හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන මාස ගණන් රිමාන්ඩ් බාරයේ තබා ගනිමින් ඇප මත මුදා හැරෙන අවස්ථාවේදීවත් නඩුවක් ගොනු කිරීමට තරම් සාක්ෂි එකතු නොකිරීම බලවත් වරදක් බව ජනාධිපතිවරයා කිව්වා.

අද අපට රටේ නිදහස්, ස්වාධීනත්වය ලැබුණේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය නිමා කරලා රට වෙනුවෙන් මේ රණවිරුවන් සිදු කළ පරිත්‍යාගයන් නිසයි. ඒ ගැන ජනතාව තුළ තිබෙන්නේ විශාල ගෞරවයක්. ඒ අය කළ කැපවීම ගැන අපි හිතන්න ඕනේ කියන එක ගැන ජනාධිපතිවරයා පැහැදිලි කරලා දුන්නා. සංහිඳියාව ගැන කටයුතු කරන මේ අවස්ථාවේ හමුදාවේ අරමුණුවලින් පිට ගිහින් පෞද්ගලික වෛරයකින් හෝ වෙනත් පටු අරමුණු වලින් කටයුතු කර ඇත්නම් ඒ අය පිළිබඳ නීත්‍යානූකූලව කටයුතු කිරීම සාධාරණ බව ත්‍රිකුණාමල සිද්ධියේ දී මිය ගිය 11 දෙනා ගැන මතක් කරමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ මරණ පිළිබඳ සොයා බැලීම අප සතු කාර්යභාරයක්. එය කරන විට විධිමත්ව ක්‍රියාකාරීව සිදු කළ යුතු බවත් කිව්වා. ඒ ගැන අත්අඩංගුවට ගත් අයගෙන් දැන් ඉන්නේ එක්අයෙක් පමණයි. අනිත් අය ඇප පිට නිදහස් කරලා තිබෙනවා. තවමත් නඩුවක් ගොනු කරලත් නැහැ.

හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික අණදෙන නිලධාරී පිළිබඳ කතා කරමින් ජනාධිපතිතුමා කිව්වේ ඔහුව මාස පහක් තියා ගෙන එළියට දැම්මා තවමත් නඩුවක් ගොනු කරලා නැහැ කියලයි. නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක අත්අඩංගුවට ගෙන මාස11 ක් රඳවාගෙන හිටියා. පසුගිය මාස කිහිපයේදීත් හිටපු හමුදා නිලධාරීන් කිහිපදෙනකුව උසාවියට ගෙනැවිත් තිබුණා. මේ වගේ දෙවල් අපේ ජනතාව දුටු විට රට බේරා ගත් අයට මේ ආකාරයෙන් සැලකීම පිළිබඳව සාධාරණ වෛරයක් ඇති වෙනවා.

අද්මීරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට මෙක්සිකෝ රජයෙන් ආරාධනයක් කරලා තිබුණා. එතුමා දැනුම් දුන්නා මේ ආරාධනාව සම්බන්ධයෙන්. එතුමා මෙක්සිකෝ ගිහින් පැමිණි පසු අවශ්‍ය නම් කටඋත්තරයක් දෙන්නම් කියලත් කිව්වා.

මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගන්නවා නම් නීතිය කොහොම වුවත් සම්ප්‍රදාය විය යුත්තේ ආරක්ෂක ඇමැතිවරයාට පළමුවෙන් දැනුම් දීමයි. එය සම්ප්‍රදාය වගේම සදාචාරයද වෙනවා. ආරක්ෂක ඇමැතිවරයා දන්නේ නැහැ මෙවැනි දෙයක් කරන්න යනවා කියලා. මාණ්ඩලික ප්‍රධානියා ත්‍රිවිධ හමුදාවේ උසස් ම නිලධාරියා. ඔහුව අත්අඩංගුවට ගන්නවා නම් මුලින්ම ආරක්ෂක ඇමැතිවරයා දැන ගත යුතුමයි. සුමන්දිරන් මන්ත්‍රීවරයා කිව්වා රවීන්ද්‍ර විජේගුණරත්න මෙක්සිකෝවට ගියේ ජනාධිපතිතුමා දැනුවත්වයි කියලා. තමන්ගේ නායකයාගෙන් අවසර ගන්න අවශ්‍යයි තමා. ජනාධිපතිතුමා දන්නේ නැහැ අත්අඩංගුවට ගන්න සැලසුමක් තිබෙන බව. සාක්ෂි නැතිව කිසිවෙකු එසේ අත්අඩංගුවට ගන්න බැහැ.

අපේ රට බේරා ගන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ හමුදා සාමාජිකයින් බේරා ගන්න අපිට වගකීමක් තිබෙනවා යැයි කීවේය.

නව අදහස දක්වන්න