කොළඹ සත්කාරකත්වයෙන් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බරයේ | දිනමිණ

කොළඹ සත්කාරකත්වයෙන් ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බරයේ

ලබන නොවැම්බර් මස 26 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ ඇරැඹෙන ජාත්‍යන්තර ජෞෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියේදී මෙරට ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩකයන් ජාත්‍යන්තර ප්‍රතිවාදින් සමග කරට කර තරග වැදීමට නියමිතය.

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන මේ දින 4ක තරගාවලියට ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතිය ලැබී තිබේ.

‘බැඩ්මින්ටන් ක්‍රීඩාව යනු බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රියකරන ජාත්‍යන්තර තරග බිමේදී රටට බොහෝ ගෞරව සම්මාන ලැබුණු ක්‍රීඩාවක්. නමුත් කනගාටුවට කාරණාව නම් සිය උපරිම දක්ෂතාවට පැමිණිමෙන් පසුව ක්‍රීඩකයන් තරගකාරි ක්‍රීඩාව අත්හැර තමන්ගේ ශාරිරික යෝග්‍යතාව පවත්වාගැනීමට පමණක් ක්‍රීඩා කිරීමයි.’ මාධ්‍ය හමුවකට එක්වෙමින් තරගාවලියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ‍ට්‍රෙවර් රෙකෙමන් කීවේය.

‘අනිත් රටවල නම් අවුරුදු 35 පසුවූ බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ තමන්ගේ රටේ තරගකාරි ක්‍රීඩාවේ දිගටම රැඳී සිටී‍මේ අවස්ථාව උදාකර ගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ට වගේ ක්‍රීඩා කරමින් තමන්ගේ රටට කීර්තිය අත්කර ගතහැකි ආරාධිත තරගාවලි පවත්වනවා. සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියක් පැවැත්වීමට ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබෙනවා.’ රෙකෙමන් පැවැසීය.

‘මේ තරගාවලිය ප්‍රවීණ ක්‍රීඩකයන් අතර ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට දායකත්වය ලබාදෙන අතරම එය ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා කිරීමේ උනන්දුවත් වැඩිකරනවා. විදේශීය ‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දේශීය තරගබිමේ ක්‍රීඩා කරන නිසා යොවුන් ක්‍රීඩකයන්ට එම තරග නරඹා සිය දස්කම් වර්ධනය කරගැනීමටත් අවස්ථාව ලැබෙනවා. දැනටමත් රටවල් 10කින් මේ තරගාවලිය ගැන විමසුම් ලැබෙමින් පවතිනවා. ඔවුන් මේ තරගාවලියට එක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා.’ රෙකෙමන් වැඩි දුරටත් කීවේය.

මේ තරගාවලිය වයස් කාණ්ඩ 8ක් යටතේ පැවැත්වෙන අතර අවුරුදු 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ. 55න් ඉහළ, 60න් ඉහළ,65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ පිරිමි තරගත්, කාන්තා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරගත් ඊට ඇතුළත් වෙයි.

සෑම වයස් කාණ්ඩයකම ජයග්‍රාහකයන්ට පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කෙරෙන අමෙරිකානු ඩොලර් 7,500ක මුදලක් සෑම කාණ්ඩයකම ශූරතාවට සහ අනුශූරතාවට පිරි නැමේ.

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා තරගාවලිය සම්බන්ධව සියලුම තොරතුරු ඇතුළත් එම සංගමයේ නිල වෙබ් අඩවිය www.ceylonmasters.com, විවෘත කිරීම ද මාධ්‍ය හමුවේදී සිදු කෙරිණි. මේ තරගාවලියට සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන්ට එම වෙබ් අඩවිය ඔස්සේ නොවැම්බර් මස 12වැනිදාට පෙර ලියාපදිංචි විය හැකිය. තරගාවලියේ තරග පෙළ ගැස්ම නොවැම්බර් මස 19 වැනිදා පැවැත්වෙයි.

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින් ක්‍රීඩකයන් දැනුවත් කිරීම කොළඹ 1, ගලධාරී හෝටලයේදී නොවැම්බර් 15 වැනිදා පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතය. ඊට පෙර තාක්ෂණික නිලධාරින්ගේ රැස්වීම පැවැත්වෙයි.

තරගාවලියේ අවසන් දිනයේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය විසින් සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ලබයි.

තරගාවලිය පැවැත්වෙන ස්ථානයේ වෛද්‍ය කණ්ඩායමක් ස්ථාපිත කරනු ලබන අතර අවශ්‍යතාව මත ගිලන් රථ සේවාවක් ද ක්‍රියාත්මක කිරිමට කටයුතු යොදා තිබේ.

තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්ට තරගයට පෙර භෞතචිකිත්සකවරයකුගේ සේවය ලබාගැනීමටත් ඉඩ සලසා තිබේ. ක්‍රීඩකයන්ගේ ගමන් පහසුව හා නවාතැන් පහසුකම් සඳහා කොළඹ තරු පන්තියේ හෝටල 5ක් තරග සංවිධායකයන් හා එක්වී සිටින අතර තරගාවලියේ ඇතුළත්වීමේ ගාස්තු, ප්‍රවාහන, නවාතැන් සහ උදෑසන ආහාර එම පහසුකම් අතර වේ.

තරගාවලිය පිළිබඳ වැඩි තොරතුරු කොළඹ 2, වොක්ෂෝල් වීදියේ, අංක 284 ස්ථානයේ පිහිටි සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමය මගින් ලබාගත හැකිය. එමෙන්ම දුරකතන අංක 0112332375, 0777996699 මගින් හෝ [email protected] සහ [email protected]. විද්‍යුත් තැපෑල මගින් ලබාගත හැකිය.

නව අදහස දක්වන්න