ජල සම්පත් කළමනාකරණ ගැටලු නිරාකරණයට ජල අංශයේ ජාතික කමිටුවක් | දිනමිණ

ජල සම්පත් කළමනාකරණ ගැටලු නිරාකරණයට ජල අංශයේ ජාතික කමිටුවක්

ජල සම්පත් කළමනාකරණ ගැටලු නිරාකරණයට ජල අංශයේ ජාතික කමිටුවක් පත්කිරීමට රජය සැලසුම් කර ඇත. නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශය එක්ව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය විසින් සංවිධාන කරන ලද“ බීමට ජලය සඳහා ජල සම්පත් කළමනාකරණය හා බෙදා ගැනීම” පිළිබඳ වැඩමුළුවේදී මේ කරුණු අනාවරණය විය.

ඇමැති රවුෆ් හකිම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා වාරිමාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණ ඇමැති දුමින්ද දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පසුගියදා (19) පැවැත්විණි.

පානීය ජල නිෂ්පාදනයට අවශ්‍ය ජල මූලාශ්‍ර තෝරා ගැනීම මෙන්ම ජල සම්පත් කළමනාකරණයේ දී මතුවන ගැටලු නිරාකරණය කිරීම පිළිබඳව ජල සම්පත් කළමනාකරණය කිරීමේ කටයුතුවල නිරත වී ඇති රාජ්‍ය ආයතන වන මහවැලි අධිකාරිය ,වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය අතර අවබෝධතා දියුණු කර ගැනීමේ අරමු‍ණෙන් මේ වැඩමුළුව පැවැත්විණි.

මේ වැඩමුළුවේදී ජල සම්පත් සැලසුම්කරණය හා සම්බන්ධිකරණයේ අවශ්‍යතාව,ජල සම්පත් කළමනාකරණයේ ඉතිහාසය,ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය,ජල සම්පත් කළමනාකරණය හා බෙදාහැරීම, ශ්‍රී ලංකාවේ ජල සම්පත් කළමනාකරණය යන මාතෘකාවලින් කරුණු සාකච්ඡා කළ අතර නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී.හපුආරච්චි, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක,වාරි මාර්ග ජල කළමනාකරණය හා ආපදා කළමනාකරණයේ ලේකම් සිසිර කුමාර මහත්වරු දේශන පැවැත්වූහ.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන ඒ.සී.එම්.නෆිල් ,එල්.මංගලිකා ,ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලයේ වැඩ බලන සභාපති එම් .එච්. එම්.සල්මාන් ,සාමාන්‍යාධිකාරී දීප්ති සුමනසේකර, මහවැලි අධිකාරියෙ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් චන්ද්‍රසිරි විතාන,වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු එස්.මෝහන්රාජ් මහත්ම මහත්මීහු ඇතුළු උසස් නිලධාරීහු රැසක් මේ වැඩමුළුවට එක්වූහ.

නව අදහස දක්වන්න