බොක්සිං තරගයේ ජයග්‍රාහකයාට හමුදා සෙබළුන්ගෙන් ප්‍රහාරයක් | දිනමිණ

බොක්සිං තරගයේ ජයග්‍රාහකයාට හමුදා සෙබළුන්ගෙන් ප්‍රහාරයක්

 මීට වසර 10 කට පමණ පෙර කොටහේනේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති ජාතික ශූරතා බොක්සිං තරගයක දී මට මුණ ගැසුණේ 1970 වසරේ මා යටතේ පුහුණුව ලැබූ හිටපු ජාතික ශුරයෙකි. බර්ගර් ජාතිකයකු වූ ඔහුගේ නම හාන්ස් වැන්ක්‍යුලන්බර්ග් (Hans Van Culenburg) ය. එදින තරග නිමවීමෙන් පසු පැවැති තේ පැන් සංග්‍රහයේ දී ඊට සහභාගිවෙමින් සිටි එක් කාලඝණක නිලධාරියකු (Time-Keeper) පෙන්වා ඔහු ගැන කරුණු විමසීය. 1970 දෙසැම්බර් මස පැවැති 55 වැනි ජාතික ශුරතා තරගාවලියේ අවසාන දිනයේ යුද හමුදාවේ එච්.කේ.කරුණාරත්න පරදවා ‘ලයිට් ෆ්ලයි‘ තරගයෙන් ජයගත් පසු තමාට පහරදුන් හමුදා සෙබළුන් අතරින් මුලින්ම පහරදුන්නේ ඔහු බව වැන්ක්‍යුලන්බර්ග් පැවසීය.

එම පුද්ගලයා යුද හමුදාවේ බොක්සිං කණ්ඩායමේ සාමාජිකයකු ලෙස සිටි අයකු බවත්, සැරයන්වරයකු ලෙස විශ්‍රාම ලබා සිටින බවත්, දැන් බොක්සිං කාලඝණක නිලධාරියකු ලෙස කටයුතු කරන බව පැවසීමි. එසේම ඔහු කලක් නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු කළ බවත් මම කියා සිටියෙමි. 1970 දෙසැම්බර් සිද්ධිය මා දුටු නමුත්, එසේ පහර දුන්නේ එම පුද්ගලයා බව දැන සිටියේ නැත.

55 වැනි ජාතික ශූරතා තරගය

එවකට ලංකා ආධුනික බොක්සිං සංගමය මගින් 1970 දෙසැම්බර් මස අග දී 55වැනි ජාතික ශුරතා තරගය පවත්වනු ලැබුවේ පැරණි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීය. අවසාන දිනයේ කාගේත් විශේෂ අවධානය යොමුවී තිබුණේ කි.ග්‍රෑ. 48ට (එකළ එය හැඳින්වූයේ රාත්තල් 106ක් ලෙසයි) අඩු ‘ලයිට් ෆ්ලයි‘ තරගය වෙතටය. මෙම තරගය ගැන පුවත්පත්වල විශාල ප්‍රචාරයක් දී තිබිණි. එදින තරගය නැරඹීම හා තරගකරුවන් දිරිමත් කිරීම සඳහා පැමිණි ජනකායෙන් ගෘහස්ථ ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව පිරී තිබිණි. ඒ වනවිට 1965 වසරේ සිට දිගටම සමස්ත ශූරතාව දිනා තිබුණේ යුද හමුදාවය. මෙවරත් ඔවුන් ශුරතාව අපේක්ෂා කළ නිසා, යුද හමුදා නිලධාරීන් හා සෙබළුන් රාශියක් පැමිණ සිටියහ. විශේෂ අවධානයට ලක්වූ තවත් හේතුවක් වූයේ ‘ලයිට් ෆලයි‘ බර කාණ්ඩයේ තරගයට යුද හමුදා කණ්ඩායමේ නායකයා හා වීරයා වූ කෝප්‍රල් එච්.කේ.කරුණාරත්න එක්වීමය. කරුණාරත්නගේ ප්‍රතිවාදියා වූයේ නව යෞවනයේ පසුවූ හාන්ස් වැන්ක්‍යුලන්බර්ග් ය. ඔහුව දිරිමත් කිරීම සඳහා පවුල් පිටින් බර්ගර් ජාතිකයෝ රාශියක් පැමිණ සිටියහ.

හාන්ස්ට ජය

මෙදින කරුණාරත්න තරග කළේ රතු කෙළවරිනි. ඔහුගේ උදව්කරුවන් (Seconds) වුයේ යුද හමුදාවේ බොක්සිං පුහුණු කරුවකු හා තවත් කෙනෙකි. හාන්ස් තරග කළේ නිල් කෙළවරිනි. ඔහු කලින් පුහුණු වු දෙහිවල සාන්ත මේරි සමාජයේ පුහුණුකරුවකු වු රෆයිඩින් සමඟ ඇතිවු මත භේදයක් නිසා මෙවර ඔහුට පුහුණු වීමට තැනක් නොතිබු නිසා පුහුණුවීම සඳහා වැල්ලවත්තේ ඇරතියුසා මහ විදුහලට පැමිණ එහි පුහුණුවීමට මගෙන් අවසර පැතීය. මම ඔහුට පුහුණුව ලබා දුන්නෙමි. එම නිසා මෙවර හාන්ස්ගේ උදව්කරුවන් වුයේ ඇරතියුසා සමාජයේ ක්‍රිඩකයන් දෙදෙනෙකි. කරුණාරත්න හාන්ස්ට වඩා උස නිසා තරගයේ දී අවස්ථාවක් ලැබුන විට කරුණාරත්නගේ අත් යටින් රිංගා ගොස් ඔහුගේ උදර පෙදෙසටත් පහල ඉල ඇට වලටත් පහර දීමට මම උපදෙස් දුන්නෙමි. එදා හාන්ස් සටන් කළේ කෙසේ හෝ ජය ලබාගැනීමේ දැඩි අධිෂ්ඨානයෙනි. මා උපදෙස් දුන් ආකාරයට හාන්ස් පහර දෙනවිට වේදනාවේ ලක්‍ෂණ කරුණාරත්නගේ මුහුණෙන් පිළිබිඹු විය. තරගකරුවන් දෙදෙනා උනන්දු කරවීමට ප්‍රේක්‍ෂකයෝ විවිධ උපදෙස් දෙමින් කෑගසන හඬින් ක්‍රීඩාගාරය දෙදරන්නට විය. ජය කාට අත්වේදැයි කාටවත් සිතිය නොහැකි තරමට තරඟය තියුණු විය. විනාඩි තුනේ වට තුන නිම වී අවසාන සීනුව නාද විය. තරගකරුවන් දෙදෙනා තම තමන්ගේ සීමාවට ගිය අතර උදව්කරුවෝ ඔවුන්ගේ ග්ලවුස් ගැළවුහ. තීරක විනිශ්චයකරුවන් තිදෙනාගෙන් ලකුණු එකතුකොට ජයග්‍රාහකයා කවුදැයි නම් කර ඇති ලකුණු පත්‍ර එකතු කොට ඒවා නිවැරදි යයි බලා ජූරි සභාවට භාර දුන්නේය. ප්‍රතිඵලය දැන ගැනීමේ රිසියෙන් මුළු ක්‍රීඩාංගණයම නිහඬව බලා සිටි අතර තීරක තරගකරුවන් කවය මැදට කැඳවා තම දෑතින් ඔවුන්ගේ අත් අල්ලාගෙන සිටියේය. ජයග්‍රාහකයා නිල් බවට නිවේදනය විය. තීරක හාන්ස් ගේ අත එසවිය. හාන්ස්ට පක්‍ෂපාතී අය ප්‍රීති ඝෝෂා නැගූහ. තීරක බලා සිටිය දී තරගකරුවෝ දෙදෙනා එකිනෙකාට අතට අත දී කවයෙන් බැස්සහ. ඉන්පසු තීරකද කවයෙන් බැස ගියේය.

ජයග්‍රාහකයාට ප්‍රහාරයක්

තරග ඇඳුම මාරුකිරීම සඳහා ඇඳුම් අඳින කාමරයට යාමට හාන්ස් පියවර කීපයක් ඉදිරියට යන විට ඉහළ පඩිපෙළ මත වාඩිවී සිටි සෙබළු පිරිසක් පහළට දුව‘විත් හාන්ස් වටකරගෙන පහර දෙන්නට පටන් ගත්හ. එතැන හාන්ස් ගේ ආරක්‍ෂාවට සිටියේ මගේ ඇරතියුසා සමාජයේ අය පමණකි. ඔවුන් ද ප්‍රහාරයට ලක්වූ අතර ඒ සියල්ල විඳගනිමින් හාන්ස් ආරක්‍ෂා කළහ. පහරදීම ආරම්භ කළ සෙබළා හැඳ සිටියේ කහපාට ටී ෂර්ටයකි. හාන්ස්ට පහර දෙන බව දුටු ඔහුගේ මිතුරන් වූ බර්ගර් ජාතික තරුණයෝ වහාම එතැනට දුව‘විත් සෙබළුන්ට පහර දෙන්නට වූහ. මුළු ක්‍රීඩාගාරයම දැඩි ඝෝෂාකාරී බවක් ගත්තේය. ඇතැම් ෙප්‍ර්ක්‍ෂකයන් අසුන්ගෙන සිටි වේවැල් ලී පුටු කීපයක් ඉහළින් එහා මෙහා විසිකළහ. තරග පැවැත්වීමද ඇන හිටියේය. එම අවස්ථාවේ යුද හමුදා බොක්සිං භාරව සිටි නිලධාරියා වු කැප්ටන් එම්. කන්දයියා මහතා එතැනට පැමිණියේය. ඔහු එම වසරේ ලංකා ආධුනික බොක්සිං සංගමයේ ලේකම්වරයාද විය. ඔහු පැමිණෙන බව දුටු සෙබළු ඉහල පඩි වෙතට පලා ගියහ.

කහ ටී ෂර්ට්කාරයා කොටුවෙයි

කැප්ටන් නන්දයියා පැමිණ හාන්ස්ගෙන් විමසුවේ කලබලය ඇතිවීමට හේතුව කුමක්ද කියාය. ඊට පිළිතුරු ලෙස හාන්ස් පැවසුවේ තමා කරුණාරත්නව පැරදවීම නිසා කෝපයට පත් වු සෙබළු කණ්ඩායමක් තමා වටකරගෙන පහරදුන් බවය. ඔවුන් හඳුනාගත හැකිදැයි කැප්ටන් විමසූ විට තමාට සියලු දෙනාම හඳුනාගත නොහැකි වුවත් පහරදුන් පිරිසේ මූලිකයා කහපාට ටී ෂර්ට් එකක් හැඳසිටි අයෙක් බව කීවේය.

ඉහළ පඩිපෙල මත වාඩි වී සිටි සෙබළු අතර එම පුද්ගලයා සිටිනු කැපී පෙනුනි.

හාන්ස් අත දිගුකර ‘අර ඉඳගෙන ඉන්නෙ එයා තමයි‘කියා ඔහුව පෙන්වීය.

එදින එහි රාජකාරියේ යෙදී සිටි යුද හමුදා පොලිස් නිලධාරින් දෙදෙනකු කැඳවු කැප්ටන් ඔවුන්ට එම පුද්ගලයා පෙන්වා ‘අර කහපාට ටී ෂර්ට් කාරයා ඇදගෙන එනවා‘ යයි විධාන කළේය.

ඔවුහු ඉහලට ගොස් එම සෙබළා අල්ලාගෙන පැමිණියහ. සෙබළා බිම බලාගෙන සිටියේය.

‘මෙයාද මිනිහා?‘ කැප්ටන් විමසුවේය.

‘ඔව් සර් මෙයා තමයි.‘ හාන්ස් පිළිතුරු දුන්නේය.

දැඩි කේන්තියෙන් දත් මිටි කෑ කැප්ටන් ඔහුට බැන පහරදීමට අත එසවු නමුත් පහර දුන්නේ නැත. ඔහුගේ විස්තර විමසු කැප්ටන් ‘සඳුදාට මෙයා මා ළඟට අරගෙන එන්න.‘ කියා හමුදා පොලිස් නිලධාරින්ට විධාන කළේය. සියල්ල සන්සුන් විය. යළි තරග ඇරැඹිණි.

ශුරතාව යුද හමුදාවට කරුණාරත්න ක්‍රීඩාවෙන් සමු ගනී

1970 වසරේ ජාතික ශුරතාව දිනාගත්තේ යුද හමුදා කණ්ඩායමය. හාන්ස්ට පිටපිට දෙවතාවක් පරාජය වූ කරුණාරත්න ඉන්පසු කිසිදිනෙක තරග කළේ නැත. පසු කලෙක ඔහු තීරක හා විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය. 1983 වසරේ ලුතිනන්වරයකු ලෙස උසස් වු ඔහු එම වසරේ අගෝස්තු මස පලාලි යුද හමුදා කඳවුරේ දී රිය අනතුරකින් මිය ගියේය.

ඩොනල්ඩ් මුණසිංහ - විශ්‍රාමික විදුහල්පති
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමයේ හිටපු ලේකම්
පාසල් බොක්සිං සංගමයේ හා බොක්සිං තීරක හා විනිසුරුවන්ගේ සංගමයේ හිටපු සභාපති

නව අදහස දක්වන්න