දුමින්ද පෝරකයට! | දිනමිණ

දුමින්ද පෝරකයට!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයකු වශයෙන් ක්‍රියා කළ දුමින්ද සිල්වා මහතාට මරණ දඬුවම තහවුරු වී ඇත. මහාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එය විභාගයට ගත් පංච විනිශ්චයකාර මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇත්තේ මහාධිකරණ තීන්දුව පිළිගත යුතු බව ය. එයින් අර්ථ ගැන්වෙන්නේ මහාධිකරණය ගත් තීන්දුව නිවැරැදි බවය. සැකයකින් තොරව දුමින්ද සිල්වා වැරැදිකරුවා බව එයින් සනාථ වෙයි. ඔහුට හා තවත් තිදෙනෙකුට මරණීය දණ්ඩනය නියම වී ඇත. මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයන් අතර ඔහු ද සිටී.

දුමින්ද සිල්වා යනු මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ එක්තරා යෝධයෙකි. ඔහුගේ ශරීරය මෙන්ම ඔහු සඳහා සකසා තිබූ ප්‍රතිරූපය ද ඉතා විශාල වෙයි. ඔහු වරෙක කොළඹ දිස්ත්‍රික්කයේ වැඩි ම මනාප ලබන පුද්ගලයා ලෙස ප්‍රකට වී සිටියේය. ඔහු තව වරෙක මත්කුඩු අල්ලන්නේවත් නැති දේශපාලකයකු ලෙස ප්‍රකට වන්නට උත්සාහ දැරුවේය. ඔහුම තවත් වරෙක කියා සිටියේ තමන්ගේ ඉලක්කය කොළඹ දිස්ත්‍රික්කයේ දුගී - දුප්පත් ජනතාවගේ අතට යමක් ලබාදීම තම අරමුණ බවය. බලාගෙන යන විට මැලේසියාවේ මහතීර් මොහොමඩ් මහතාට හෝ මෙබඳු අදහස් නොතිබෙන්නට ඇත.

ඕනෑම රටක නීතිය තිබිය යුත්තේ ධනවත් හා ප්‍රභූ පුද්ගලයන්ගේ හැඟීම් හා ආවේගවලට ඉහළින් ය. නීතියේ ආධිපත්‍යය යනු තර්කවලට හසුවන දෙයක් නොවේ. එය මුළුමනින්ම පදනම් වන්නේ යුක්තිය හා සාධාරණත්වය මතය. යුක්තිය හා සාධාරණත්වය ගැන කල්පනා කරන විට වින්දිතයන් ගැන සැලැකිල්ල යොමුකළ යුතුය. රටේ සාදාචාරය හා විනය ගැන අවධානය යොමු කළ යුතුය. දුමින්ද සිල්වා මහතාට එරෙහිව නැ‍ඟෙන චෝදනා සුළුපටු නැත. ඔහුට හා ඔහුගේ සහචරයන්ට එරෙහිව අධිචෝදනා දාහතක් යොමු වී තිබිණි.

දුමින්ද සිල්වා මහතාට අදාළ සිද්ධිය වාර්තා වන්නේ 2011 දීය. මේ සිද්ධියේදී ජනාධිපති උපදේශකයකු ඇතුළු තවත් පිරිසක් ඝාතනයට ලක් වී සිටියහ. කොළොන්නාවේ දේශපාලන සිද්ධියක් මූලිකකොට ගැටුම ඇතිවී තිබිණි. එම ගැටුමෙන් භාරත ලක්ෂ්මන් නම් ප්‍රකට දේශපාලකයා ඇතුළු පිරිසක් මිය ගියහ. දුමින්ද සිල්වා හා ඔහුගේ සහචරයන් ඉහත පිරිසට වෙඩි තබා ඝාතනය කළ බව පසුව හෙළිදරව් වී තිබිණි. මේ නඩුව මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ නියමාකාරයෙන් විභාගයට ලක් වී නැති බවක් පෙනෙයි. ඒ අනුව දුමින්ද සිල්වා නිදහස් වී 2013 දී ගෙදර ගියේය.

සිද්ධිය නියමාකාරයෙන් නිරීක්ෂණය කළේ ද නඩු විභාගය යුක්තිය පසිඳලන ආකාරයෙන් සිදුවූයේ ද 2015 න් පසුව බව පෙනී යයි. එම නඩු විභාගයේදී කරුණු කාරණා සහිතව දුමින්ද සිල්වා වැරැදිකරුවකු බවට පත්කර තිබේ. එය අප පිළිගත යුතුය. තවදුරටත් මේ විභාගය නිර්දෝෂ කරනු සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීම සාධනීය ලක්ෂණයකි. එහි ප්‍රතිඵලය වූයේ ද දුමින්ද සිල්වා වැරැදිකරුවා වීම ය.

මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධරයා සිද්ධියෙන් නිදොස්කොට නිදහස් කිරීමය. එය නීතියේ ස්වාධිපත්‍යය පිළිබඳ හොඳ ලක්ෂණයකි. පොලිස් නිලධරයා හිතමතා වෙඩි තබන්නේ නැත. ඔහු සිය ප්‍රධානියාගේ අණට අනුව ක්‍රියා කරනු ලැබේ. ඇතැම්විට නිලධාරීන් ඉතා අහිංසක පුද්ගලයෝ වෙති. ඔවුනට සේවය කිරීම සඳහා ලැබෙන පුද්ගලයන්ගේ ස්වාභාවයට අනුව ක්‍රියා කිරීමට ආරක්ෂක නිලධාරීන්ට සිදුවේ. මේ නඩුවේදීත් ඒ ගැන ද යුක්තිය ඉටු වී ඇති බවක් පෙනෙන්නට තිබේ.

කොයි හැටි වුව අපට වඩාත් වැදගත් වන්නේ රටට අවශ්‍ය නීතිය හා යුක්තිය ඉටුවීම ය. ඒ අතින් බලන විට මේ නඩුව නීතියේ ආධිපත්‍යය ඉතා හොඳින් තහවුරු කරන බව පෙනී යයි. දුමින්ද සිල්වා මහතා රටේ ප්‍රභූ ආශ්‍රයක් ඇති බලවත් පුද්ගලයෙකි. එය කෙතරම් ද යත්; ජනාධිපති උපදේශකයකු වූ භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අභිභවා යන හැකියාවක් දුමින්ද සිල්වා මහතාට තිබිණි. එහෙත් එය නීතිය හමුවේ අභියෝගයට ලක්වූයේ 2015 න් පසුවය.

දුමින්ද සිල්වාගේ නඩුවෙන් පමණක් නොව; තවත් නඩු විභාග ගණනාවකින් ද පෙනී යන්නේ දැන් නීතියේ ආධිපත්‍යය පවතින බව ය. මීට දින දෙකකට ඉහත දී තංගල්ල උසාවිය මඟින් දසදෙනකුට මරණීය දණ්ඩනය නියම කළේය. ඉඩම් නඩුවකට මුල් වී හයදෙනකු ඝාතනය කිරීම ඊට හේතුවයි. දැන් මිනීමරුවන්ට සහනයක් නැති බව එයින් පෙනී යයි. එය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයකි.


නව අදහස දක්වන්න