ආසියානු සත් සාමාජික රග්බි ආධිපත්‍ය ජපානයට | දිනමිණ

ආසියානු සත් සාමාජික රග්බි ආධිපත්‍ය ජපානයට

ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අදියර 3ම ජයගත් ජපාන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමස්ත ශූරතාව දිනාගැනීමෙන් පෙරේදා කොළඹ දී තුන්වැනි අදියරේ තරගාවලිය නිමාවට පත්විය. මේ තරගමාලාවේ හොංකොං හී පැවැති පළමු අදියරත්, දකුණු කොරියාවේ පැවැති දෙවැනි අදියරත් ජයගත් ජපාන කාන්තා හා පිරිමි කණ්ඩායම් තුන්වැනි අදියරත් ජයගනිමින් තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම බවට පත්විය.

ආසියාවේ අංක එකේ රග්බි කණ්ඩායම වන ජපානය ලබන වසරේ හොංකොං හී පැවැත්වෙන ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරගාවලියට එක්වී සිටින අතර එම තරගාවලියට සමගාමීව පැවැත්වෙන ලෝක ශුරතා සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආසියානු තරගමාලාවේ සමස්ත ලකුණු සටහනේ දෙවැනි හා තුන්වැනි කණ්ඩායම්වලට හිමිවිය. තරගාවලියේ සමස්ත අනුශූරයෝ බවට පත්වූ හොංකොං කණ්ඩායම ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරගාවලියට දොරටු විවර කරගනිද්දී එම අවස්ථාව ලැබූ තුන්වැනි රට බවට පත්වීමේ වාසනාව ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී ගියේය.

පළමු අදියරේ තරගාවලියේ තුන්වැනි ස්ථානයත්, දෙවැනි අදියරේ තරගාවලියේ 6 වැනි ස්ථානයත් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමට නම් කොළඹ තරගාවලියේදී තුන්වැනි ස්ථානය දිනාගත යුතුව තිබිණි. එහෙත් ඒ සඳහා පැවැති තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් කළ පිලිපීනය ඒ අවස්ථාව උදුරා ගත්තේය.

පෙරේදා තරගාවලියේ කුසලාන වටයේ අවසන් පූර්ව තරගයේදී ජපානය හමුවේ පරාජයට පත්වීමෙන් තුන්වැනි ස්ථානය සඳහා තරග වැදීමට සිදුවූ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු බිඳ දැමූ පිලිපීනය ලකුණු 19-7කින් තරගය ජයගත්තේය.

මේ අතර කොළඹ තරගාවලියේ කාන්තා පළඟ ශූරතා අවසන් මහා තරගයෙන් තායිලන්තය ලකුණු 7-5කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙවර තරගමාලාවේ තුන්වැනි වරටත් පළඟ ශූරියෝ බවට පත්වූහ. ආසියානු කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමක් සමස්ත තරගාමාලාවේ පිට පිට තුන් වතාවක් පළඟ ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය විය.

මේ සමගම ආසියානු කාන්තා සත් සාමාජික රග්බි තරග බිමේ පස්වැනි ස්ථානය තහවුරු කරගැනීමට ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. පසුගිය වසරේ පැවැති කොළඹ තරගාවලියේදිත් පළඟ ශූරතාව දිනාගැනීමට සමත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මේ වනවිට අඛණ්ඩව සිවුවතාවක්ම පළඟ ශූරියෝ බවට පත්වී සිටිති. එසේ වුවත් හොංකොං ලෝක ශූරතා සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක්වීමේ අවස්ථාව ලබාගැනීමටශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අසමත්වූහ. එම තරගාවලියේ කාන්තා තරග අංශයට ආසියාවෙන් කණ්ඩායම් 4ක් තෝරාගැනීමට නියමිතව තිබූ අතර ශ්‍රී ලංකාව පස්වැනි තැනට පත්වීමෙන් එම අවස්ථාව ගිලිහී ගියේය. ඒ අනුව ජපානය, චීනය, කසකස්තානය සහ හොංකොං කණ්ඩායම් ඊට සුදුසුකම් ලැබුවේය.

කාන්තා රග්බි පිල පළඟ ශූරතා අවසන් තරගයට එක්වූයේ සිංගප්පූරුව ලකුණු 40-0කින් පරාජය කරමිනි. තායිලන්තය සමග කරට කර සටනක නිරතවූ ශ්‍රී ලංකා පිල වාර්තා කළ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ නායිකා සංජීවනී විජේතිලක විසිනි. ඇය තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කිරීමට අයේෂා කළුආරච්චි සමත්වූවාය.

 

නව අදහස දක්වන්න