19න් පහළ සිවුදින ක්‍රිකට් තරගාවලිය | දිනමිණ

19න් පහළ සිවුදින ක්‍රිකට් තරගාවලිය

බංග්ලාදේශය යොවුන් පිල කඩුලු 3කට ලකුණු 209යි

සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිවුදින ක්‍රිකට් තරගාවලියේ ඊයේ ආරම්භ වූ පළමු තරගයේ පළමුව පන්දුවට පහරදෙන බංග්ලාදේශය දිනය නිමාවනවිට කඩුලු 3ක් දැවී ලකුණු 209ක් රැස්කර තිබිණි.

ඊයේ තරගයට අයහපත් ආලෝකයෙන් බාධා වීම හේතුවෙන් තේ පානයට මොහොතකට පෙර තරගය නතර කළ අතර ඒ වනවිට තව්හිඩ් රිඩෝයී නොදැවී ලකුණු 54ක් සහ ශමිම් හුසේන් නොදැවී ලකුණු 43ක් ලබා කඩුල්ලේ රැදි සිටියහ. දෙදෙනා අතර සිවුවැනි කඩුල්ලට ගොඩනැගුණු නොබිඳුණු සබඳතාව ලකුණු 70කි.

එන්.සී.සී පිටියේ පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ ඉනිම ඇරැඹු ටන්සිඩ් හසන් සහ නව්රෝස් නබිල් පළමු කඩුල්ල ලකුණු 54ක් එක් කළහ. චමිඳු විජේසිංහගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 42ක් ලබාසිටි හසන් දැවී යෑමත් සමග එම සබඳතාව නිමාවිය.

අනතුරුව නබිල්ට එක්වූ හසන් ජෝයි මුළු ලකුණු සංඛ්‍යාව 93 දක්වා ඉදිරියට ගෙන ගිය අතර අෂේන් ඩැනියල්ගේ පන්දුවක් හමුවේ ජෝයි (19)ගේ ඉනිම නිමාවිය.

නායක තව්හිඩ් රිඩෝයි නොදැවී රැස්කළ ලකුණු 54දී නව්රෝස් නබිල් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 46ක් සහ සිවුවැනි කඩුල්ලේ නොබිඳුණු සබඳතාව (70) ඇතුළත්ව තිබිණි. නව්රෝස් දැවී ගියේ සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනි.

අද තරගයේ දෙවැනි දිනයයි.

බංග්ලාදේශ යොවුන් පිල පළමු ඉනිම - 209/3යි. (ඕවර 58) තව්හිඩ් රිඩෝයි නොදැවී 54, නව්රෝස් නබිල් 45, ශමිම් හුසේන් නොදැවී 43, ටන්සිඩ් හසන් 42

 

නව අදහස දක්වන්න