පුත්තු සහ පියවරු | දිනමිණ

පුත්තු සහ පියවරු

ළමයා පාසලට ඔඩොක්කු පරිගණකය රැගෙන ගියේ පියාගේ අවසරය ඇතිවය. පරිගණකය පාසලට රැගෙන යාමට අවසර ඉල්ලූ විට පියා ඇසුවේ ඒ කුමක් සඳහා ද කියා ය. ළමයා කීවේ පාසලේ උත්සවයක් වෙනුවෙන් ගීතයක් වාදනය කිරීමට පරිගණකය අවශ්‍ය වී ඇති බවය. වෙනත් ළමයකුට ඔඩොක්කු පරිගණකයක් ගෙන ආ නොහැකි ද යන පියාගේ පැනයට ළමයාගේ පිළිතුර වූයේ, පාසලේ ශබ්ද විකාශන පද්ධතිය ක්‍රියාත්මක කරවීම බාරව ඇත්තේ තමාට බැවින් වෙන අයකුගේ පරිගණකයක් ගෙන එන්නැයි කීමට නොහැකි බවය.

ළමයාට පරිගණකය පාසලට රැගෙන යන්නට පියාගේ අවසරය ලැබීමේ අතීත කතාව එයය. (මවුපියෝ කවදත් දරුවන්ගේ වදන් විශ්වාස කරති.) පාසලේ දී පරිගණකය ගුරුවරුන්ගේ අත්අඩංගුවට පත්විය. එපමණක් නොවේ, පියාට පාසලට කතා කරන්නැයි දැන්වීමක් ද ලැබුණි. පරිගණකය රැගෙනයාම පාසලේ අවශ්‍යතාව මත වූවක් වන්නට ද ළමයා බොරු අවශ්‍යතාවක් පෙන්වා පරිගණකය පාසලට රැගෙන ගියා වන්නට ද පුළුවන.

දරුවෝ බොරු කියා ඒ මේ දේ කරති. ළමයාගේ පියා පාසල් යන සමයේ පිස්සු බල්ලකු පාසලට පැන පන්තියේ මිතුරකු සපා කෑවේය. කිතුනු පල්ලියේ පූජකතුමා බල්ලා වෙඩි තබා මරා දැමුවේ ය. සිද්ධිය එතැනින් කෙළවර නොවූයේ, පිස්සු බල්ලකු සපා කෑමේ බරපතළකම පාසල් කාර්යය මණ්ඩලය අවබෝධ කරගෙන සිටි බැවිනි. බල්ලාගේ සපාකෑමට, නිය පහරට, කෙළ තැවරීමට ගොදුරු වූ තවත් සිසුන් සිටීදැයි සොයා බැලුණේ එහෙයිනි. එවන් අය ඇතොත් කලින් නිවෙස්වලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නට අවසර ලැබෙන බවද දන්වන ලදී.

පිස්සු බල්ලාගෙන් කිසිදු හානියක් නොවූ නමුත් කලින් පාසලෙන් පිටව යන්නට ලැබෙන අවස්ථාව මග හරින්නට දරුවාගේ පියාට සිතුණේ නැත. තම සිරුරේත් පිස්සු බල්ලාගේ කෙළ තැවරුණු බව ඔහු විදුහල්පතිතුමාට කීවේ ය. කලින් නිවෙසට යාමේ වාසනාව ඔහුටද හිමිවිය.

ළමයාගේ පියාගේ පියා සාමාන්‍යයෙන් හවස් වී මිස නිවෙසට නොඑන නමුත්, එදින ළමයාගේ පියා නිවෙසට යනවිට පියාගේ පියා නිවෙසේ සිටියේ ය. ඔහු සැර පරුෂ අයෙකි. වරදට ගුටිදෙන ආකාරයේ කෙනෙකි. එහෙයින් ළමයාගේ පියා සිය පියාට; පිස්සු බල්ලකු පාසලට ආ බවත් මිතුරකු සපා කෑ බවත් තම සිරුරේද බල්ලාගේ කෙළ තැවරුණු බවත් එහෙයින් පාසලෙන් කල් ඇතිව නිවෙසට එවූ බවත් කීවේ ය.

පියාගේ පියා කලබලයට පත් විය. වහා සිය දරුවා වෙද මහතකු වෙත කැටුව ගියේ ය. බිය වන්නට හේතුවක් නැත. වෙදමහතා සියල්ල විසඳාදෙනු ඇත. “තම සිරුරේ බලුකෙළ තැවරුණේ නැහැ නෙව” ළමයාගේ පියා එසේ සිතුවේ ය.

එහෙත් සිදු වූයේ අනෙකකි. ඇස් විවරකර බලා, දිව එළියට දමන්නැයි කියා ළමයාගේ පියා පරීක්ෂා කළ වෙද මහතා, සිරුරේ පිස්සු බලු විස ඇති බව නිගමනය කළේ ය. කසායද, කැඳද බොන්නට නියම කළේ ය. එපමණක් නොව සතියකින් නැවතත් එන්නටද කීවේ ය. ඊළඟ සතියේ ගියවිටද වෙද මහතා කීවේ, තවමත් සිරුරේ විස ඇති බවයි. වෙනත් කසායද, වෙනත් කැඳද, යළිත් සතියකින් එන්නටද නියම කෙරිණ. ළමයාගේ පියාට නියම පරිප්පුවය. නැති ලෙඩකට දැං බීපන්කො කසාය.

තෙවැනි සතිය වනවිට ළමයාගේ පියාට තමා ගැන වෙහෙසෙන පියා පිළිබඳ මෙන්ම නිකරුණේ බෙහෙත් බොන තමා ගැනද අනුකම්පාවක් ඇති වී තිබුණි. පියා නැතිව තමාට වෙද මහතා හමුවන්නට ගිය හැකි බව ඔහු තම පියාට කීවේ එහෙයිනි.

තනිව වෙදගෙදර යන්නට අවසර ලැබුණි. එදින රෝගියා පරීක්ෂා කළ වෙද මහතා කීවේ, විස බැස්සවීමට වමනය කරවන්නට සිදුවන බවය. සතියක් බීමට නැවත බෙහෙත් ලියා ඉන් පසුව වමනය කරවීමට අවශ්‍ය කරන නැවුම් මුට්ටි, එළඟිතෙල්, පහන්තිර ආදි දිග බඩු වට්ටෝරුවක්ද රැගෙන එන්නට ලියා දුන්නේය. වමනය කරවන්නේ අලුයම කපුටා හඬන්නට පෙරය. එබැවින් නියමිත දිනට පෙර දිනයේ වෙද නිවෙසේ නවතින්නට ද සිදුවේ.

එදින නිවෙසට පැමිණ ළමයාගේ පියා කීවේ, කසාය වට්ටෝරුව සතියක් පානය කිරීම ප්‍රමාණවත් යැයි වෙද මහතා කී බවය. නිවෙසට එන අතර වමනය වට්ටෝරුව සිහින් කැබලිවලට ඉරා ඇළට දැමූ බව දන්නේ අවාසනාවන්ත රෝගියා පමණි. කෙසේ වෙතත් තම පියාට අනුකම්පා කිරීමේ ප්‍රතිඵලද ඔහුට ලැබුණු බව කිය යුතුය. මන්ද පියා සමග එදින වෙදගෙදර ගියේ නම් නැති රෝගයක් සුවකර ගැනීම සඳහා වමනය කරන්නට සිදුවනු නොඅනුමාන බැවිනි. ළමයා පරිගණකය පාසලට රැගෙන ගියේ බොරුවක් කියා නම් ඊට සමාව දෙන්නටත් එහෙත් යළි එවැන්නක් නොකරන්නැයි අවවාද කරන්නටත් ළමයාගේ පියා තීරණය කළේ එකී සිද්ධිය මතක් වූ බැවිනි.

විදුහලට කතා කළ විට දැනගන්නට ලැබුණේ පරිගණකයේ අසැබි දසුන් එක දෙකක් තිබී ඇති බවය. ළමයා පසුවන්නේ නව යොවුන් වයසේය. එනම් ලිංගික කුතුහලයත් ලිංගික ආශාවනුත් මෝදුවන වයසයි. ළමයාගේ පියාගේ නව යොවුන් වයසේ පරිගණක තිබුණේ නැත. ඔවුන්ට තිබුණේ චිත්‍ර කතාය. එකී චිත්‍රකතාවල තරුණියනගේ ඇඳුම් කෙටිය. පපුවත් එහෙන් මෙහෙන් නිරාවරණ ය. තමා ඒවායින් එකල කතා රසයට වඩා වෙනත් කුණු රසයක් විඳගත් බව ළමයාගේ පියාට පිළිගන්නට සිදුවේ. ඊළඟට වැඩිහිටියන්ට පමණක් සීමාකර පෙන්වූ චිත්‍රපට ය. ඩී.ඩී.එච්.ලෝරන්ස් නමින් ශ්‍රේෂ්ඨ ලේඛකයකු සිටි බවත් ඔහු ‘ලේඩි චැටර්ලිස් ලවර්’ යනුවෙන් නවකතාවක් රචනා කළ බවත් දැනගන්නට පෙර ළමයාගේ පියා දැන ගත්තේ ‘ලේඩි චැටර්ලිස් ලවර්’ චිත්‍රපටය ය. ඉනුත් ලේඩි චැටර්ලි ලෙසින් රඟ පෑ සිල්වියා ක්‍රිස්ටල්ය. ඇය ප්‍රධාන චරිතය රැඟූ මාතාහාරි නැරඹීමට දරුවාගේ පියා පෙළඹුණේ ද ඔහුගේ මිතුරන් එහි ඇතැම් රූප රාමු පිළිබඳ කළ විස්තර නිසා ය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පිළිබඳ ඇල්මට එක් හේතුවක් ත්‍රාසය ය. අනෙක් හේතුව ඒවාහි එන අනුරාගික දර්ශන බවද බොරුවක් නොවේ. ද බිග් බොස් චිත්‍රපටයේ නිළිය තිසරපට ගලවන දර්ශනය එකල තම සිරුරේ යම් තැනකට වැඩියෙන් සංවේදි වුණු බව ළමයාගේ පියාට අමතක නැත. දෝන කමලාවතී පොත් අතර සඟවා කියවූ තමාගේ පරපුරට පෙර පරපුරේ අය ගැන ළමයා ගේ පියා දනී. පරිගණකයේ අසැබි දර්ශන තිබුණේ නම් ළමයා ඒවා යොදාගන්නට ඇත්තේ කුමක් සඳහා දැයි ළමයාගේ පියාට අනුමාන කළ හැකිය. ළමයාගේ පියා එය හඳුන්වන්නේ ‘වයසේ වැරැද්ද’ ලෙස නොව ‘වයසේ හැටි’ කියා ය.

පරිගණකයේ තිබුණු දර්ශන මුල්කරගෙන ළමයා අපහසුතාවට පත්කිරීමට කටයුතු නොකිරීම පිළිබඳ විදුහලට ස්තූති කළ ළමයාගේ පියා, නැවත එවැනි දේ නොකරණ ලෙස ළමයාට අවවාද කරන්නැයි ද විදුහල්පතිතුමාගෙන් ඉල්ලා සිටියේ ය.

මාළු කන නමුත් මිනිස්සු, කුණු මාළු නොකන බවත්, මාළු කනවිටත් ඇ‍ඟෙහි තවරාගෙන නොකන බවත් කියා ළමයාට අවවාද කරන්නටත් ළමයාගේ පියා වගබලා ගත්තේ ය.

ළමයාගේ පියා නව යොවුන් වියේ නෑවේ පොදු ළි‍ඳෙනි, ඇළෙනි, දොළෙනි, වැවෙනි. එවැනි තැනකදී රෙදි පිළි එකල මෙකල වීම්ද අඩුවක් තිබුණේ නැත. දැන් ළමයින්ට එවැනි අවස්ථා නැත. ඇළ, දොළ, ළිඳ, වැව වෙනුවට ඇත්තේ ටයිල් අල්ලා සැරසූ නානකාමරයයි.

ළමයාගේ පියාගේ නව යොවුන්වියට වඩා සමාජය ද දැන් බොරු සදාචාරයක් හිස මතින් වැඩමවමින් සිටී. ළමයාගේ පරම්පරාවේ මානසික වර්ධනයටත්, මානසික සුවයටත් එයින් සිදුවන හානිය කිසිවකු කල්පනා කරන්නේ නැත.

ළමයාගේ පියාගේ නවයොවුන් වයසේදී පෙළපොත්වල ලිංගික අධ්‍යාපනයට කොටසක් තිබුණු නමුත් උගන්වන්නට ඉදිරිපත්වන ගුරුවරුන් සිටියේ නැත. ඔවුන් කල්පනා කළේ එය ලැජ්ජා නැති පාඩමක් කියා වන්නටද පුළුවන. තවමත් ඒ තත්ත්වයෙහි වෙනසක් සිදුව ඇතැයි ළමයාගේ පියා හිතන්නේ නැත. එසේ හෙයින් ළමයාගේ පියාට මෙන්ම ළමයාටත් ලිංගික දැනුම ලබා ගන්නට බලකෙරී ඇත්තේ කැලෑ විශේෂඥයන්ගෙනි. පුවත්පත්වල පළවන වෛද්‍ය ගැටලුවල විමසන ඇතැම් ප්‍රශ්නවලට හේතුවන රහස ඇත්තේ එතැනය. ලිංගික දැනුම යනු මේ සමාජයට වසා අගුලු දමා ඇති කාමරයක් වැන්න. සදාචාරයට ඇති බිය හේතුවෙන් කිසිවකු එය විවර කරන්නට ඉදිරිපත් වන්නේ නැත. එහි අතුරු පලයක් ලෙස අඩු වයසින් ගැබ් ගන්නා දියණිවරුන් හමුවේ. බාලවයසේ පියවරුන් ද එසේ මය.

පෙරහැරක අලියකු ගමන් කරමින් සිටියේ පාද හතර මැදින් තවත් විශාල යමක් පද්දමිනි. ඒ දුටු කුඩා දරුවකු එය කුමක්ද කියා මහ හඬින් ඇසුවේ ය. දරුවාගේ අම්මා පිළිතුරු දෙනුවෙනුවට දරුවාගේ කට අතින් වැසුවාය. එය දුටු වැඩිහිටියකු දරුවාගේ කුතුහලය සන්සිදෙව්වේ; “ඒ පුතේ අලියා චූ කරන එක” යනුවෙන් කියා දීමෙනි.

එතැනින් බොහෝ දුර තැනකට සමාජය යායුතුව තිබුණ ද අවම වශයෙන් එතැනටවත් යන්නට සමාජය සූදානම් නැත. ළමයාගේ පියා කල්පනා කරන්නේ ළමයාගේ පරිගණකයේ යමක් තිබුණේ නම් එහි වරද ළමයාගේ නොව ළමයින් කරුවල කාමරවල දමා රකින සමාජයේ බවය.

අනුර කේ. එදිරිසූරිය
[email protected]

නව අදහස දක්වන්න