දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කාලය එළඹිලා | දිනමිණ

දේශීය ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට කාලය එළඹිලා

ඇමැති චම්පික රණවක

රුපියල අවප‍්‍රමාණයවීම ගැන විශාල භීතිකාවක් රටේ ඇතිකර තිබේ. එම ප්‍රශ්නය තිබෙන්නේ භාණ්ඩාගාරයට නෙමෙයි. භාණ්ඩාගාරයට එමගින් ලොකු ගැටලුවක් නැහැ. භාණ්ඩාගාරය ණය ගෙවනවා වගේ දෙගුණයක් ආනයනවලින් බදු ලැබෙනවා. ගැටලුව තිබෙන්නේ විදේශවලින් අපේ ජනතාවට ගෙන එනු ලබන භාණ්ඩවල මිල ඉහළ යාම නිසා මුහුණ දීමට සිදුව ඇති ගැටලුවයි.

අපේ රටේ ජනතාව උපයන විදේශ මුදල් සහ විදේශ වියදම් අරගත් පසුව අපේ ජංගම ගිණුමේ වෙනස ඩොලර් බිලියන 2යි. ඩොලර් මිලියන 2,000ක මේ හිඟය ගැන කතා කරන කොට ඩොලර් මිලියන 1,800ක කිරි, සීනි, ඇපල්, මිදි වැනි ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වනවා. ඒ වගේම මේ රටේ නිපදවන්න පුළුවන් ඒවත් සමඟ ඩොලර් මිලියන 500ක ඖෂධ ගෙන්වනවා. ඩොලර් මිලියන 1000ක වාහන ගෙන්වනවා.

ඒ වගේම අපේ අය විදේශ ගතවෙන ප්‍රමාණය ගත්තහම අද ඩොලර් මිලියන 1,600ක් ලංකාවේ සල්ලි රට යනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන්නේ 4,000යි. ඒ නිසා මේ අර්බුධය අපට ජයගන්න පුළුවන් යැයි ඇමැති චම්පික රණවක පවසයි.

අපේ ජනාධිපතිතුමා අපි වවමු රට නඟමු කියා වැඩපිළිවෙළක්. මෙයින් රට ඇතුළේ නිෂ්පාදනය කළ හැකි දේ අපි නිපදවූවොත් අපට මේ මුදල් මේ රටේම ඉතිරි කර ගන්න පුළුවන්.

ආනයන ආදේශක ඉලක්ක කරගෙන අපි වැඩකරන්න ඕනේ. ඉටි පන්දම්, හඳුන්කූරු, හිඹුටු, මාදම් චීනයෙන් ඉන්දියාවෙන් ගෙන ඒමට නම් අපේ වටිනා විදේශ විනිමය වැය කරන්නේ ඒ සඳහා අනෙක් පැතිවලින් අපට වන්දි ගෙවීමට සිදුවෙනවා. ඒ නිසා මේ වාසිය අවාසිය, වාසියක් බවට පරිවර්ථනය කරගෙන ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න, දේශීය ව්‍යවසායකත්වය ශක්තිමක් කරන්න දැන් කාලය ඇවිත්.

හැබැයි ඒ සඳහා අර පරණ හොරු කැඳවලා හරියන්නේ නැහැ. ඒක මේ අලූත් බලාපොරොත්තු සහිත, අලූත් ගමනක් සමඟ

ශ්‍රී ලංකන්, මිහින් ලංකා, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා, ක්‍රිකට් ක්‍රීඩාංගණ ? වෙළෙඳපොල, ගුවන්තොටුපළ වගේ ජනතාවගේ ධනයට ප්‍රතිලාභ නොලැබෙන කිසිම සංවර්ධන ව්‍යාපාරයක් අපේ අමාත්‍යාංශයෙන් අපි දියත් කර නැහැ. සෑම සංවර්ධනයකින්ම රටට, ඔබට, ප්‍රතිලාභය ලැබෙනවා. අපේ විවිධ ක්‍ෂෙත්‍රවල ආදායම් ලැබෙන විධිමත් සංවර්ධනයකට රට යොමුකර තිබෙනවා. මත්තල ගුවන් තොටුපළ, ඒ වගේම සූරිය වැව ක්‍රීඩාංගණය, හම්බන්තොට වරාය, සම්මන්ත්‍රණ ශාලාව, ශ්‍රීලංකන් ගුවන් සේවය වගේ සාපරාධි සංවර්ධන අපරාධ එකක්වත් මේ ආණ්ඩුව සිදු කර නැහැ.

ඒ වගේම ජනතාව පැහැර ගැනීම් ආදියෙන් කර තිබෙන අපරාධ කරලත් නැහැ. ඒ පැත්තෙන් අපි මේ රට යුක්ති සහගත කර තිබෙනවා මෙය රටේ සංවර්ධනයට රුකුලක්.

විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් රට වටකරලයි තිබුණේ. අපට අපනයන කරුවන්ට විශාල ප්‍රශ්න පැන නැගී තිබුණා. ඒ යුරෝපා සංගමය ජී.එස්.පී. සහනය උදුරා ගැනීම නිසා. අමෙරිකා එක්සත් ජනපදය සහනය උදුරා ගැනීම නිසා. වේදිකාවල අමෙරිකාවට, යුරෝපයට විරුද්ධව බෙරිහන් දුන්නට වැඩක් නැහැ. රටේ අපනයනයෙන් 60% ක් ඒ රටවල් දෙකට තමයි සිදු කෙරුණේ. ඒවා ගලවාගෙන රටේ කීර්ති නාමයත් ආරක්‍ෂා කරගෙන, ජාත්‍යන්තර වශයෙන් හොඳ ප්‍රතිරූපයකුත් අපි නිර්මාණය කරගෙන තිබෙනවා. නමුත් ලෝකයේ පවතින අර්බුද අද ලෝකයේ මූල්‍යමය වශයෙන් යම් කලබල කාරී තත්වයක් පැන නැගී තිබෙනවා. ඒවගේම තෙල් මිල නැවත ඉහළ යෑමේ ප්‍රවණතාවක් නැවත ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම අපි අධික විදේශ ණය බරක නියැලිලා තිබෙනවා. ඒවා ඇත්තටම මේ ආණ්ඩුවේ ණය නෙමෙයි. මේ වසරේ දී අපට ගෙවන්න තිබෙන ණය කොටස ඩොලර් මිලියන 4200ක්. ඒකෙන් 11% ක් 1947 ඉඳන් 2007ට කලින් ගත්ත ණය. ඉතුරු ටික ඔක්කොම ඊට පස්සේ ගත්ත ණය. ඒ බරත් දරාගෙන තමයි අපට සංවර්ධනය කරන්න වෙලා තිබෙන්නේ.

ඒ පැත්තෙන් අපි සාර්ථක වෙලා තිබෙනවා. අනෙක් පැතිවලින් අපේ අසාර්ථකතාවයන් තිබෙනවා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසයි, අතීතයට සාපේක්‍ෂව බැලූවහම රට අමාරුවේ දාල සංවර්ධනයක් කර නැහැ. ඒ වගේම දුක් පීඩාවලට ලක් වූ ජනතාවට සෑම අතින්ම සහන විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙනවා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කර සිටියේ සහසක් තුරු වැඩසටහන යටතේ මිලියනයක් ශාක සිටුවීමේ රත්නපුර වැඩසටහනකට සහභාගී වෙමිනි.

නව අදහස දක්වන්න