සමා­ජයේ අපි හැමෝම විහි­ළු­කා­රයෝ | දිනමිණ

සමා­ජයේ අපි හැමෝම විහි­ළු­කා­රයෝ

 අපූර්ව චරිත නිරූපණයක් සමඟින් මේ දිනවල “පැකේජ්” හා “රාහු” ටෙලි නාට්‍ය ද්විත්වය හරහා ප්‍රේක්ෂක ඔබ හමුවට එන බුද්ධික සේමසිංහ, දිනෙන් දින ප්‍රේක්ෂක ආදරය දිනා ගන්නේ, ඔහුගේ මන බඳින රංගනය නිසාවෙනි. ඔහුගේ කලාකාමී ජීවිතය පිළිබඳ කෙරුණු සංවාදයකි මේ.

 

 

මේ දිනවල ඔබ නිතර රූපවාහිනියෙන් දකිනවා. ඔබ සම්බන්ධ වෙලා සිටින නිර්මාණ කටයුතු ගැන යමක් කිව්වොත්?

ස්වර්ණවාහිනියේ විකාශය වන “පැකේජ්” ටෙලි නාට්‍යයේත්, ස්වාධීන රූපවාහිනියේ විකාශය වන “රාහු” ටෙලි නාට්‍යයේත් චරිත නිරූපණය කරනවා. “පැකේජ්” එක්ක තමයි වැඩිපුර කාර්යබහුල වෙලා ඉන්නේ. “රාහු” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් සහභාගි වෙනවා. සුපුන් රත්නායකගේ “ඇට්ටරයා” ටෙලි නාට්‍යයේ වැඩ අවසන් කළා. තවත් නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී මම රචනා කරන තව ටෙලි නාට්‍යයක, වැඩ පටන් ගන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

”පැකේජ්” වැනි හාස්‍ය මුසු ටෙලි නාට්‍ය පිටපතක් ලියන්නට ඔබට මුල් වුණ හේතුව?

මිනිස්සු බොහෝ වෙලාවට ගෙදරට ඇවිල්ලා රූපවාහිනිය ඉස්සරහා ඉඳගන්නේ ටිකක් මහන්සියෙන්. රූපවාහිනිය බලන්නේ මිනිස්සුන්ගේ තියෙන ආතතිය පිට කර ගන්නත් එක්කයි. ඒ වෙලාවේ අපි අපේ තියෙන ප්‍රශ්න ඔක්කොම රූපවාහිනියේ පෙන්නන්න ගියහම, මිනිස්සුන්ට තමන්ට තියෙන ප්‍රශ්නයි, රූපවාහිනියෙන් පෙන්නන ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක ප්‍රශ්න වැඩි වෙනවා. මිනිස්සුන්ට ටිකක් නිදහස් වෙන්න පුළුවන් දෙයක් පෙන්නන්න මට හිතුණා. මේ නාට්‍ය බලලා හිත සැහැල්ලුවෙන් නිදාගන්න පුළුවන් නම්, හිතේ තියෙන ප්‍රශ්න ටික මොහොතකට හරි අමතක කරන්න පුළුවන් නම්, ඒක බොහොම වටිනවා. ඒක තමයි මේ වගේ හාස්‍ය මුසු කතාවක් ලියන්න මුල් වුණු ප්‍රධානම කාරණාව. දෙවැනි කාරණාව තමයි, මම හොඳින් හඳුනන කෙනකුගේ අත්දැකීමක් ඔය කතාවට බොහොම සමාන වුණා. සැමියා පිටරටකදි මිය ගිහින්. දේහය ශ්‍රී ලංකාවට ගේනකොට, ඒ දේහය බාර ගන්න කාන්තාවො දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. ඒ කාරණාව වස්තු බීජය විදිහට අරගෙන තමයි , මම මේ කතාව දිගහරිමින් ඉන්නෙ.

”පැකේජ්” තිර රචනයට අමතරව, ඔබ එහි සැලකිය යුතු චරිතයක් නිරූපණය කරනවා. ඒ වෙනුවෙන් ලැබනේනේ මොන විදිහෙ ප්‍රතිචාරද ?

මේ, රූපවාහිනියෙන් විකාශය වන මගේ තුන්වැනි ටෙලි නාට්‍යය. මිනිස්සු බොහෝ දෙනෙක් නළුවෙක් විදිහට මා හඳුනන්නෙ නෑ. ඒත්, මේ වෙනකොට හුඟක් තැන්වලදි මිනිස්සු අද “පැකේජ්” ගැන කතා කරනවා. නළුවෙක් විදිහට ප්‍රේක්ෂකයා අතරට යන්න මේ නාට්‍ය හරහා මට විශාල සහයෝගයක් ලැබුණා. ප්‍රේක්ෂකයන් “පැකේජ්” නාට්‍යයේ “සාගර”ගේ චරිතයට කැමැතියි.

මේ ඔබේ කීවැනි පිටපත් රචනයද?

ටෙලි නාට්‍ය පිටපත් රචනයක් විදිහට මම කරන දෙවැනි පිටපත් රචනය, “පැකේජ්”. පළමු වැනියටම මම පිටපත් රචනය කළේ හිරු නාලිකාවේ විකාශය වුණු “බටහිර අහස” ටෙලි නාට්‍යයි. ඊට අමතරව වැඩසටහන්වල පිටපත් රචනා කරලා තියෙනවා. කොහොම වුණත් මගේ වෘත්තිය නම් මෙය නෙවෙයි. මම උසස් පෙළ සිංහල උපකාරක පංති පවත්වන ගුරුවරයෙක්. අවුරුදු ගණනක් තිස්සේ මම කළේ ශ්‍රී ලංකාව වටේම උපකාරක පංති පවත්වමින්, සිංහල උගන්වන එක. අහම්බෙන් තමයි මේ ක්ෂේත්‍රයට එකතු වුණේ. ඒ, චාමර ජනරාජ් පීරිස්ගේ “බටහිර අහස” හරහායි. “බටහිර අහස” පිටපත් රචනය කළා විතරක් නෙමෙයි, ඒ නිර්මාණය ඇතුළෙ යම් චරිතයක් නිරූපණය කරන්නත් මට අවස්ථාව ලැබුණා. මිනිස්සු මා අඳුරගත්තෙත් “චව්වා” කියන ඒ චරිතය හරහායි. අදටත් සමහරු මට කතා කරන්නෙ ඒ නමින්.

එසේනම් ඔබ රංගනයට ප්‍රවිශ්ට වෙන්නේ බටහිර අහසින්?

මම රංගනයට ප්‍රවිෂ්ට වෙන්නෙ වේදිකාවෙන්. පාසල් වේදිකාවේ අවුරුදු හතක් රඟපාලා තියෙනවා. YMB ,ටවර් හෝල් වගේ තරගවලින් අවුරුදු හයක්ම ශ්‍රී ලංකාවේ හොඳ ම නළුවා වෙලා තියෙනවා . ඒ පුහුණුව මට තිබුණා. ඒත්, වේදිකාව සහ ටෙලි නාට්‍යය අතර යම් වෙනසක් තියෙනවා. ටෙලි නාට්‍ය රංගනය, රාමුවකට අනුව කෙරෙන එකක්. ටෙලි නාට්‍ය නළුවෙක් විදිහට මම ප්‍රේක්ෂකයා අතරට එන්නේ බටහිර අහසෙන්.

ඔබ පාසල් වේදිකාවේ දක්ෂ නළුවෙක්. බොහෝ තරගවලින් ජයග්‍රහණත් අත්පත් කරගෙන තිබෙනවා. මෙවැනි රංගන හැකියාවක් තිබියදීත්, නළුවෙක් විදිහට එළියට එන්න ප්‍රමාද වුණේ ඇයි?

පාසල් වේදිකාවේ මට වඩා සම්මාන ගත්ත, මට වඩා රංගන හැකියා තියෙන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒත්, ඒ අයට අද වෙනකල් රූපවාහිනියෙන් පේන නළුවෙක් විදිහට එළියට එන්න අවස්ථාවක් ලැබිලා නෑ. ඒ පරක්කුව ඇතුළෙ තියෙන්නේ, මේ ක්‍රමවේදය තුළ ඉඩක් නොලැබී යෑමයි. අවස්ථා නැති නිසා, ඒ අයට එළියට එන්න බෑ. මටත් එහෙම අවස්ථාවක් ලැබුණෙ හුඟක් පරක්කු වෙලා. වුවමනාවක් නොතිබුණා නෙමෙයි, අවස්ථාවක් එනකල් බලන් ඉන්න වුණා. ශ්‍රී ලංකාවේ වැඩි හරියක් දක්ෂයන්ට වෙලා තියෙන්නේ ඒ දේ. කලාව විතරක් නෙමෙයි, කොයි ක්ෂේත්‍රය තුළ වුණත් හැකියාව තිබිලත් අවස්ථාවක් නැති නිසා, එළියට එන්න විදිහක් නැතුව බලන් ඉන්න අය ඉන්නවා.

එවැනි රංගන හැකියා නොමැති වුණත්, ප්‍රියමනාප රූපය සහ නිරූපණය වැනි වෙනත් ක්ෂේත්‍රයක් තුළ ලබා ඇති ප්‍රසිද්ධිය වැනි අවශේෂ කාරණා හේතුවෙන්, අද බොහෝ දෙනකුට සිනමාව සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ විශාල ඉඩක් වෙන් වෙනවා නේද?

අපි හැම දේකටම එක්තරා ආකෘතියක් හදාගෙන ඉන්නවානෙ. උපකාරක පංති කරන කාලේ මං කොණ්ඩෙ ජෙල් කරලා පංතියට යනකොට, සමහර ගුරුවරු ළමයින්ට කියනවා, මේ ගුරුවරයාගෙන් ඉගෙන ගන්නෙ කොහොමද? එයා කොණ්ඩෙ ජෙල් ගාලානෙ ඇවිත් ඉන්නෙ කියලා. ඒක ඇතුළෙම කියැවෙනවා, මිනිස්සු ගුරුවරයා මනින්නෙ කොණ්ඩෙන් මිසක්, ඔළුවෙන් නෙමෙයි කියන දේ. බාහිර පෙනුමෙන් එහාට ගිහිල්ලා, කෙනකුගේ තියෙන හැකියාවෙන් මිනිස්සු මනින්න පුළුවන් නම්, දක්ෂ නළු නිළියෝ බොහෝ දෙනෙක් බිහි වෙයි. නළුවාට මෙන්න මේ වගේ හැඩයක් තියෙන්න ඕනෙ කියලා අපි හදාගෙන තියෙනවානෙ. නළුකම ඇඟ ඇතුළෙ තිබිලා, නළු හැඩය තිබ්බෙ නැත්නම්, කවදාකවත් ශ්‍රී ලංකාවේ නළුවෙක් වෙන්න බෑ. නිළියන්ටත් එහෙමයි. අපේ රටේ නළු හැඩය තියෙන අය බොහෝ දෙනෙක් එළියට ඇවිත් ඉන්නවා. ඒත්, එයාලගේ ඇතුළෙ නළුකම තියෙනවාද කියන එක ගැටලුවක්.

”පැකේජ්”හි සාගරගේ චරිතය හරහා ඔබ සියුම්ව හාස්‍ය මතු කරන්නේ, ආයාසයකින් තොරවයි. නිර්මාණයක් ඇතුළේ අරුත්සුන් වචන ගොන්නක් සහ කායික වෙහෙසක් වැනි තවත් බොහෝ දේ එකතු කළත්, සමහරුන්ට ප්‍රේක්ෂකයා හිනස්සන්න බෑ. කොහොමද ඔබ මේ විදිහට ආයාසයෙන් තොරව හාස්‍ය මතු කරන්නේ?

අපි ජීවත් වන සමාජයේ හැම තැනම හාස්‍ය තියෙනවා. අපට හැමදාම පේන්න තියෙන්නෙ හිනාවෙන්න ඕන දේවල්. රූපවාහිනිය බැලුවත්, රූපවාහිනියේ අය අපිට විහිළු සපයනවා. දේශපාලනය දිහා බැලුවත් දේශපාලඥයන් අපට විහිළු සපයනවා. පාරෙ බස් එකක ගියත්, කොහේ ගියත් , කොහෙන් කොහෙන් හරි අපට විහිළු සපයනවා. ඒ විහිළු සපයන කවුරුවත් , ඇඟවල් හොල්ලලා , දඟලලා අපට විහිළු සපයන්නෙ නෑ. ඒ දිහා බලලා, ටෙලි නාට්‍ය ඇතුළෙ ඒ දේ ප්‍රතිනිර්මාණය කරනවා නම්, අර විදිහට ආයාසයෙන් දඟලන්න ඕනෙ නෑ කියන කාරණය තමයි කියන්න තියෙන්නෙ.

අදටත් අපේ සිනමාව ගත්තත්, ටෙලි නාට්‍ය ගත්තත්, කතාවට අදාළ නැති විකට චරිතයක් කොහෙන් හෝ ගෙනවිත් කිසිම රසයක්, හරයක් නැති පිළිකුල් සහගත අන්දමින් ප්‍රේක්ෂකයා හිනැස්සීමට දැඩි ආයාසයක් ගන්නවා. එවැනි දේ ගැන ඔබේ අදහස?

සමහර දේ අපට අහුවෙන විදිහක් තියෙනවානෙ. ඒ විදිහට නැතුව, තව කෙනකුට තව තැනකදී වෙන විදිහට ඒ දේම අහුවෙන්න පුළුවන්. හාස්‍යත් එහෙමයි. එක එක්කෙනාට හාස්‍ය කියන දේ අහුවෙච්ච විදිහ වෙනස්. සමහරුන්ට ඔය කියන විදිහට තමයි හාස්‍ය අහුවෙලා තියෙන්නෙ. පාසල් වේදිකාවේ එහෙම සමහර දේ තියෙනවා. පුංචි ළමයි ඔය කියන විදිහෙ විහිළුවලට හිනා වෙනවා. ඒ පොඩි ළමයින්ගෙ විහිළු වැඩිහිටියන්ටත් පෙන්නන්න ගියොත්, වෙන්නෙ නිර්මාණය අසමත් වෙන එකයි.

ගෙදරදොර විස්තර ටිකක් කිව්වොත්?

මම ඉපැදුණේ මහනුවර. ඉගෙන ගත්තෙ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. අම්මා, තාත්තා සහ වැඩිමහල් සහෝදරයෙක් තමයි මගේ පවුලෙ ඉන්නෙ. මට මගේ ජීවිතේ බොහෝ දේ ලැබුණේ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. පවුලෙ වෙන කිසි ම කෙනෙක් කලාවට සම්බන්ධ නෑ. තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. අම්මා ගෘහණියක්. අයියා වතු පාලකවරයෙක්. මට කලාවට සම්බන්ධ පවුල් පසුබිමක් තිබුණෙ නෑ. පවුලෙම අය එකතු වෙලා හවසට සිංදුවක් කිව්වොත් හැර, එතැනින් එහාට අපේ ගෙදර කලාත්මක පසුබිමක් තිබුණෙ නෑ. ඒත්, මම පුංචි කාලෙ ඉඳන් කලාවට කැමැතියි. උසස් පෙළටත් චිත්‍ර විෂය හැදෑරුවා. වැඩිපුර කැමැති වේදිකාවට. ඒ, මං හැදිච්ච තැන සහ මට වැඩි ම නිදහසක් තියෙන්නේ වේදිකාවෙ නිසයි. වේදිකා නාට්‍යක් අධ්‍යක්ෂණය කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. ඒ සඳහා පිටපතකුත් සූදානම් කරගෙනයි ඉන්නෙ. මෑතකදි මට චිත්‍රපට පිටපතක් ලියන්නත් ආරාධනාවක් ලැබුණා. තාම ලියලා ඉවර කරගන්න බැරි වුණු මගේ නවකතා දෙකක් තියෙනවා. කවදා හරි මගේ නවකතාවක් එළියට දාගන්න පුළුවන් දවසට, මං බොහෝම සතුටු වෙයි.

 

කාංචනා සිරිවර්ධන

ඡායාරූප - ක්‍රිෂ් ලී

නව අදහස දක්වන්න