කතානායක මතය ව්‍යවස්ථා විරෝධියි | දිනමිණ

කතානායක මතය ව්‍යවස්ථා විරෝධියි

ස්වර්ණා විජේකෝන්, සමන්මලී ප්‍රියශාන්ති

රට අස්ථාවර කිරීමේ අවශ්‍යතාවට පක්ෂග්‍රාහීව එක් පාර්ශ්වයක ඉල්ලීම මත ප්‍රකාශ නිකුත් කර රටේ දේශපාලන අස්ථාවරත්වයක් හෝ ජනතාව අතර අර්බුදකාරී තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම සම්පුර්ණයෙන්ම කතානායකවරයා බාර ගත යුතු යැයි රජය පවසයි. දේශපාලන අර්බුදයක් ඇති කරමින් රට අස්ථාවරභාවයට පත් කිරීමට තම බලතල ඉක්මවා යමින් කතානායකවරයා දරණ උත්සාහයට අප්‍රසාදය පළ කරන බවද රජය අවධාරණය කරයි.

දෙපාර්ශ්වයම බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තත්ත්වය තමාට පිළිගැනීමට සිදුවන බවට කතානායකවරයා නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේ, කථානායකවරයා පක්ෂග්‍රාහීව සහ එක් පක්ෂයකට වාසිවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සම්මතයට පටහැනි බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන 116දෙනකු නොව 225 දෙනාම අත්සන් කර ලිපියක් බාර දුන්න ද ජනාධිපතිවරයා ව්‍යවස්ථානූකූලව කල් තැබූ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් කැඳවීමේ හැකියාවක් කතානායකවරයාට නොමැති බවද අමුණුගම මහතා පැවසීය.

පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවක කතානායකවරයා සිය බලතල අනිසි ලෙස යොදා ගනිමින් එක් පාර්ශ්වයක මන්ත්‍රීවරුන්ට රැස්වීම සඳහා පාර්ලිමේන්තුවේ කමිටු කාමර පවා ලබා දී ඇති අතර මෙම සියලු ක්‍රියාදාමය රජය හෙළා දකින බව ද කීවේය.

කතානායකවරයා යනු මධ්‍යස්ථ පුද්ගලයෙක් බැවින් පෞද්ගලික දේශපාලන මත ඉදිරිපත් කිරීම කිසිසේත් අනුමත නොකරන අතර ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමට කතානායකවරයා යෝජනා කරන්නේ නම් එය නීතිවිරෝධී ක්‍රියාවක් බව ද හෙතෙම සඳහන් කළේය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී ඊයේ (5) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට ඉහත දී මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ ආණ්ඩුවට කරු ජයසූරිය මහතා මන්ත්‍රී 18දෙනකු සමඟ ආණ්ඩුවට එක් වූ විටත්, 2015 ජනවාරී 9වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කළ විටත් ආණ්ඩුවට බහුතරය තිබේදැයි සොයා බැලීමට කරු ජයසූරිය මහතා කටයුතු නොකළ බවයි. ආසන 162ක් තිබූ එවකට අගමැති දී. මූ ජයරත්න මහතා ඉවත්කර රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කළ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට පැවැතියේ ආසන 47 ක් පමණක් යැයි ද ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, අනු නීතී, ව්‍යවස්ථාපිත නීති සියල්ලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් බව කී ඇමැතිවරයා, මෙවැනි ප්‍රකාශ සිදු කිරීම මඟින් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ගොඩනැඟෙන බව ද පැවසීය.

කතානායකවරයා වැනි මධ්‍යස්ථ විය යුතු අයකු සිදු කරන මෙම ප්‍රකාශ හේතුවෙන් රටේ යම් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම කතානායකවරයාට බාර ගැනීමට සිදු වන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා- සාමකාමීව බලය එක් කණ්ඩයමකින් තවත් කණ්ඩායමකට යමින් තිබෙන වෙලාවක එක් කණ්ඩායමකට වාසි වන ලෙස හා අසාධාරණ ලෙස කළ මේ ප්‍රකාශයෙන් ජනතාව හැලහැප්පීම්වලට යන්න පුළුවන්. දැන් නීති විරෝධි දේවල් කර තිබෙන්නේ කතානායකවරයායි. කතානායකවරයාට මේ ආකාරයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල හෝ රටේ නීතියේ හෝ බලතල නැහැ. පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය හොඳින්ම දැනගෙන සිටිය දී එම ක්‍රියාදාමය අවහිර කිරීමට කතානායකවරයා කටයුතු කිරීම ඕනෑ කමින්ම රට අස්ථාවරභාවට පත් කිරීමේ උත්සාහයක් බව පෙනෙනවා.

වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා- ජනාධිපතිවරයා කල් තැබූ පාර්ලිමේන්තුව කැඳවීමට හා ව්‍යවස්ථාව උල්ලංඝණය වන පරිදි කටයුතු කිරීමට කතානායකවරයා කටයුතු කරනවානම් එය නීති විරෝධි ක්‍රියවක් ලෙසයි සළකන්න වෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑවන වගන්තිය අනුව පාර්ලිමේන්තුව කල් තැබීමේ බලය ජනාධිපතිවරයා සතුව පැවරෙනවා. එය කතානායකවරයාට වෙනස් කරන්න බැහැ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුව කල් තැබූ පළමු අවස්ථාව මෙය නෙවෙයි. ඒ නිසා වැරැදි මතයක් සමාජ ගත කිරීමට කතානායකවරයා දරන මෙම උත්සාහය අපි හෙළා දකිනවා. කතානායකවරයාගේ මෙම හැසිරීම කතානායකවරයකුට සුදුසු නොවන ආකාරයේ හැසිරීමක්. යැයි ද කීවේය.

නව අදහස දක්වන්න