කඨින චීවර පූජාව මහත්ඵලයි | දිනමිණ

කඨින චීවර පූජාව මහත්ඵලයි

තල්ගස්කන්දේ සුජාත හිමි

ලොව පුරා බෞද්ධ ජනතාව භක්තියෙන් යුතුව පවත්වන පින්කම් අතර කඨින පින්කම විශේෂ ස්ථානයක් ගනියි. කඨින පින්කමේ ආරම්භය හා එය සිදුකළ යුත්තේ කෙසේද යන්නත්, එහි ආනිශංසයේ තිබෙන වැදගත්කමත් පිළිබඳ පැහැදිලි කරමින් අද ධර්ම සභාව තුළින් සාකච්ඡාවට එක්වන්නේ නල්ලතන්නිය, ගඟුලතැන්න, නිශ්ශංකමල්ල ගල්ලෙන් විහාරයේ විහාරාධිපති තලගස්කන්දේ සුජාත හිමියන් ය.

*ස්වාමීන් වහන්ස, කඨින පින්කම පවත්වන ආකාරය මොන වගේද?

කඨින චීවරය රැගත් පෙරහර උදෑසන පිටත් වෙනවා. ඉන්පසුව පැරණි චාරිත්‍රානුකූලව කඨින වස්ත්‍රය භාරගෙන සිවුරු කැපීම, මැසීම, පඬු පෙවීම ආදී සියල්ලක්ම සිද්ධ කරලා, දහවල් දානය වෙලාවෙදි දායක පින්වතුන් විසින් කඨින චීවරයක් ‍වශයෙන් මහා සංඝරත්නයට පූජා කරනවා. දහවල් කඨින දානය අවසානයේ කඨිනය පිළිබඳ අනුශාසනා පවත්වා ඒ පින්කමේ වැඩකටයුතු අවසන් කරනවා.

*කඨින පින්කමක ඇති ආනිශංස මොනවාද?

කඨින පින්කමක් කියන්නේ බුද්ධ කාලයේ ඉඳලාම පැවත එන විනයානුකූල පින්කමක්. බුද්ධ ශාසනයේ තියෙන පළවෙනි පින්කම හැටියට, වැදගත් පින්කම හැටියට සලකන්නෙ කඨින චීවර පූජාව. අපිට අප්‍රමාණ වෙහෙර විහාර ඉදිකරන්න පුළුවන්. අෂ්ටපරිෂ්කාර ආදී පිරිකර පූජා කරන්න පුළුවන්. දානමාන දෙන්න පුළුවන්. නමුත් ඒ සියලුම දේවලට වඩා කඨින චීවර පූජාවක අනුහස් වැඩියි කියලා බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනවා.

බුද්ධ දේශනයට අනුව කඨින චීවරයක් පූජා කරපු කෙනෙක් චුල්ල සෝතාපන්න නාමයෙන් හඳුන්වා තියෙනවා. වුල්ල සෝතාපන්න කියන්නෙ දෙවැනි සෝවාන් තැනැත්තා කියන එකයි. ඒ තැනැත්තා මතු භවයේත් මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී සුගතියක ඉපදෙනවා කියලා බුද්ධ නීතියේ සඳහන් වෙනවා. කඨින චීවර පූජාවක් සිද්ධ කරපු කෙනෙක් කවදාවත් සසරේ ආපහු එන කෙනෙක් බවට පත්වෙන්නෙ නෑ, ඉදිරියට යනවා මිසක.

කවදා හෝ නිවන් දකින්න පුළුවන්කම තියෙන පින්කමක්. උපසම්පදා වෙච්ච භික්ෂූන් වහන්සේලා පෙරවස් සමාදන් වෙනවා කියලා පෝය සීමාවට එකතු වෙනවා. එහෙම පෙරවස් සමාදන් වුණු භික්ෂුවකට කඨින චීවරයක් ලබාගැනීමේ අවස්ථාවක් සැලසෙනවා, බුද්ධ නීතියට අනුව. එක විහාරස්ථානයක වර්ෂයකට සිදුකරන්න පුළුවන්කම තියෙන්නේ එක කඨින පින්කමයි.

ඒ නිසාම ඒක සුවිශේෂී වැදගත්කමක් තියෙන පින්කමක්. ඒ උසස් වූ පිංකමට යම් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් එයින් මහත් ඵල මහානිශංස ලැබෙනවා. වෙහෙර විහාර හැදීම, මංමාවත් හැදීම ඇතුළු අටමහා පින්කම් සිද්ධ කළත් ඒ අෂ්ටමහා පින්කම්වලටත් වඩා වැදගත්ම පින්කම කඨින චීවර පූජාව කියලා අපේ බුදුදහමේ සඳහන් වෙනවා. ඒ වගේම කඨින චීවර පූජාවක් කෙනෙක් මුල්වෙලා කළාට, ඒක කෙනකුගේ පූජාවක් නෙවෙයි. කවුරුත් එකතුවෙලා පින්කම් කළොත් තමයි කුසලය වැඩි.

*ශ්‍රීපාද වන්දනාකරුවන්ට මේ වන විට ලැබෙන පහසුකම් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

ශ්‍රීපාද මාර්ගයේ ගමන් කරන බැතිමතුන්ට ජල පහසුව, වැසිකිළි පහසුකම්, විශ්‍රාමශාලා පහසුකම් අඩුයි. රජය විසින් හෝ වෙනයම් අයකු විසින් මූලිකත්වය ගෙන වන්දනාකරුවන්ට සහනයක් සිද්ධ කරනවා නම් ගොඩක් වටිනවා. මොකද මේක දුෂ්කර ගමනක්. ගමන දුෂ්කර නිසාත්, අධික ශීතල නිසාත් ගොඩක් දෙනෙක් හදිසි අසනීප තත්ත්වවලට මුහුණපානවා. ඒ තත්ත්වයන් දරාගන්න බැරිව ඇතැම් අය මියගිය අවස්ථාවන් පවා තිබෙනවා. එවැනි අවස්ථාවලදී සහය දක්වන්න ආරක්ෂක අංශවල පිරිස් සිටියත් සමහර විට එහිදී අඩුපාඩුකම් තියෙනවා.

හදිසියේ අසනීප වුණු කෙනෙකුව ඉක්මනින් පහළට ගෙන්න ගන්න පුළුවන් විදිහෙ යම්කිසි වැඩපිළිවෙළක් යොදන්න පුළුවන්නම් ‍ගොඩක්ම වටිනවා. ඒ වගේම ශ්‍රී පාදස්ථානයට පැමිණෙන බැතිමතුන් තේරුම්ගන්න ඕනෙ මේ යන්නෙ වන්දනා ගමනක්, ඒ යනකොට ඇළදොළ, ගංගා අපිරිසිදු වන ආකාරයෙන් අපවිත්‍ර දේ පරිසරයට එකතු කිරීම යුතු නෑ කියලා. අපි හොඳින්ම කල්පනා කරන්න ඕනෙ පූජනීය ස්ථානයකටයි යන්නෙ.

එය ලෝක උරුමයකට හිමිකම් කියන ස්ථානයක් කියලා. ලංකාව පෝෂණය වෙන ගංගාවන් ගලා බසින්නේ මේ ශ්‍රීපාද අඩවිය තුළිනුයි. ඒ ජල ධාරාවන් අපවිත්‍ර කිරීම සුදුසු නෑ. පොලිතින් වැනි පරිසරයට අහිතකර දේවලින් වැළකිලා ඒ වන්දනා ගමන යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. අනිත් කාරණාව නම් මේ වගේ වන්දනා ගමනකදී අපි අඳින ඇඳුම් පැළඳුම් ගැන පවා සැළකිලිමත් වීම ඉතා වටිනවා.

*වර්තමානයේ වෙහෙර විහාර, බුද්ධ ප්‍රතිමා නිරන්තරයෙන් ගොඩනැ‍ඟෙනවා. නමුත් මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් දිනෙන් දින පිරිහෙන බවක් තමයි පේන්න තියෙන්නෙ?

මිනිසුන්ගේ ආකල්ප යහපත් අතට වෙනස් කරන්න බෙහෙවින්ම පිටිවහල් වෙන ධර්මයක් තමයි බුදු දහම. ඒ ධර්මය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් කවදාවත් වැරැද්දක් කරන්න පෙළඹෙන්නෙ නෑ. ධර්මය මිනිසුන් අතරට යන්න ඕනෙ ඉස්සරහට වැඩිය දැන් විද්‍යුත් මාධ්‍ය තුළින් ධර්මය ප්‍රචාරය වෙනවා. නමුත් බොහෝ දෙනෙක් ඒ ධර්මය ඇසුරු කිරීමේ හා පිළිපැදීමේ අඩුවක් තමයි දකින්න ලැබෙන්නෙ. බුදු දහම නැතිවෙලා යන කාල තියෙනවානේ.

ඔය ඇත්තො අහලා තියෙනවා දහම්සොඬ රජ්ජුරුවො ධර්මය සොයාගෙන ගිය හැටි. රජසැප, අඹුදරුවො අත්හැරලා බුදු දහම සොයන් ගියා. ඒ තරම් දුෂ්කර කාලපරිච්ඡේදයන් ලෝකයේ පහළවෙලා තියෙනවා, බුද්ධෝත්පාද කාලයක් නැති වුණාට පස්සෙ. දැන් මේ එළඹිලා තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක්. මේ කාලය අපිට මේ ධර්මය තේරුම් ගන්න හොඳම කාලයක්.

මනුස්ස ආත්මභවයක් ලැබෙන්නෙ ඉතාම කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබෙන ආත්මභවය ලෝකය තුළ බුද්ධ ධර්මය පවතින කාලයක දී ලබා තිබීම තවත් සුවිශේෂී වැදගත්කමක්. බුදු දහම තේරුම් අරගෙන අපිට මේ සසරින් එගොඩ වෙන්න පුළුවන්කම තියෙන කාලපරිච්ඡේදයක්. කවුරුත් ඒ කාරණය තේරුම් අරගෙන කටයුතු කරනවා නම් සසර කෙටි කරගන්න පුළුවන් වෙනවා.

*අතීතයේ නම් බුද්ධ ධර්මයේ පැවැත්ම උදෙසා වරින්වර ධර්ම සංගායනාවන් පැවැත්වුවා. අවසන් ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ මීට වසර ගණනාවකට ඉහතදී. වර්තමානයේ එවැනි දේ සිදු නොවෙන්නේ ඇයි?

ධර්මයේ වටිනාකම පිළිබඳ අවබෝධයක් තිබුණත් සියලු දෙනාගේම කාර්යබහුලත්වය නිසා එවැනි දේවලට කාලයක් නැතිකම තමයි තියෙන්නෙ. නමුත් ධර්මයේ වටිනාකමත්, වුවමනාවත් මිනිසුන්ට නැතිවෙලා නෑ. මහා සංඝරත්නය හැටියට අපි හැකි සෑම අයුරකින්ම ධර්මානුශාසනා පවත්වනවා.

*සංගායනාවක් මඟින් නැවත ධර්මය එක්තැන් කිරීමක්, ජනගත කිරීමක් සිදුකරනවා නම් ඒ වෙනුවෙන් මූලිකත්වය ගත යුත්තේ කවුරුන්ද?

ලංකාවේ තියෙන ක්‍රමය අනුව අපේ බුද්ධ ශාසනයේ නිකාය භේදයක් තියෙනවා. මහා සංඝරත්නය කවුරුත් එකට එකතුවෙලා, දැන උගත් විද්වත් භික්ෂූන් වහන්සේලා මූලික වෙලා ධර්ම සාකච්ඡාවක් පවත්වා ධර්මය නඟාසිටුවීම වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් යොදන්න පුළුවන්. නැවත සංගායනාවක් කරන්න වුණත් පුළුවන්. නමුත් එවැනි විශේෂ වැඩපිළිවෙළක් නැතිවීමට හේතුව කිසිවෙකු ඒ වෙනුවෙන් මූලිකත්වය නොගැනීමයි. මූලිකත්වය ගන්න සුදුසු කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් කරන්න බැරිකමක් නෑ. බුද්ධ ශාසනය හොඳටම පිරිහුණු කාලවලදී සංඝරත්නය එකතු වෙලා බුද්ධ ශාසනය නිර්මල කරලා තියෙනවා. වර්තමානයේ වුණත් සෑම දෙනෙක්ම එකතු වෙලා, එවැනි වැඩපිළි‍වෙළක් ගෙනයනවා නම් අපිටත් පුළුවන් අපේ ධර්ම දැනුම අනුව ඒ කටයුත්තට උපරිමයෙන් දායක වෙන්න.

සංවාද සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න