චැම්පියන් ලීග් ශූර කොළඹ පාපන්දු සමාජය සුපර් සන් පරදා දැවැන්ත ජයක් ලබයි | දිනමිණ

චැම්පියන් ලීග් ශූර කොළඹ පාපන්දු සමාජය සුපර් සන් පරදා දැවැන්ත ජයක් ලබයි

ප්‍රින්ස් ගුණසේකර

ඩයලොග් චැම්පියන් ලීග් ශූර කොළඹ පාපන්දු සමාජය ගෝල් 8-0කින් බේරුවල සුපර් සන් පිල පරාජයට පත් කරයි. මෙවර චැම්පියන් ලීග් පාපන්දු ශූරතාවලියේ තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ගෝල් සංඛ්‍යාව කොළඹ පිල මේ ජයග්‍රහණයත් සමග වාර්තා කිරීමට සමත්ව සිටී.

කොළඹ සුගතදාස පිටියේ පැවැති කොළඹ - සුපර් සන් අතර තරගයේ පළමු භාගයේදී ගෝල් 1-0ක් ලෙස කොළඹ පිල ඉදිරියෙන් සිටි අතර නයිජීරියානු ක්‍රීඩක බොඩ්රික්ස් දිමිත්‍රී 41වැනි මිනිත්තුවේදී ගෝල් පෙරහැර ආරම්භ කළේය. ඔහු මෙම තරගයේදී ගෝල් 3ක් රැස්කරගත් අතර එයින් දෙවැනි හා තුන්වැනි ගෝල් 51වැනි හා 62වැනි මිනිත්තුවලදී වාර්තා විය.

ජාතික පාපන්දු පිලේ ක්‍රීඩක මොහොමඩ් රිෆ්නාස් 70 හා 74 මිනිත්තුවලදී ගෝල් 2ක්, මොහොමඩ් අකීබ්, මොහොමඩ් ෆසාල් හා මොහොමඩ් සටර් පිළිවෙලින් 52වැනි, 53වැනි හා 64වැනි මිනිත්තුවලදී ගෝල් රැස් කළහ.

තරග 3ක් ජය පැරදුමෙන් තොරයි

චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ පසුගිය සති අන්තයේ පැවැති තරග 3ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. මාතර පාපන්දු සංකීරණයේ පැවැති මාතර සිටි - රත්නම් අතර තරගය ගෝල් 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමාවූ අතර රත්නම් පිලේ එච්. පී. පෙරේරා 20වැනි මිනිත්තුවේදී හා මාතර සිටි පිලේ සී. බී. වීරප්පුලි 56වැනි මිනිත්තුවේදී ගෝල් ලැබීමෙන් තරගයේ ලකුණු සම විය.

බැද්දගාන පාපන්දු සංකීර්ණ ක්‍රීඩා පිටියේ පැවැති ආරක්ෂක සේවා පාපන්දු පිල හා ක්‍රිස්ටල් පැලස් අතර තරගය ගෝල් 3-3ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ආරක්ෂක සේවා පාපන්දු පිල වෙනුවෙන් මොහොමඩ් ඉසෙදීන්, එම්. ද සිල්වා හා ආර්. ජේ. බර්නාඩ් ගෝල් රැස්කල අතර ක්‍රිස්ටල් පැලස් පිල වෙනුවෙන් ඒ. ආර්. බාර්ත්ලෙට් ගෝල් 2ක් වාර්තා කළේය. සුගතදාස පිටියේ පැවැති සෝන්ඩර්ස් - ජාවාලේන් අතර තරගය ගෝල් 4-4ක් ලෙස සම තත්ත්වයකින් නිමා වූයේ පළමු හා දෙවැනි භාගයේදී දෙපිලම කරට කර සටනක නියැලීම හේතුවෙනි. යූ. පී. සී. ඩිල්ෂන්, අයි. උදාර, මොහොමඩ් නලීම් හා එස්. නිරේෂ් සෝන්ඩර්ස් පිල වෙනුවෙන් හා එච්. එස්. පෙරේරා, සනෝජ් පෙරේරා, ටී. ෆ්‍රැන්සිස්, මොහොමඩ් නජාබ්ඩීන් ජාවාලේන් පිලට ගෝල් වාර්තා කළහ.

නාවික - බ්ලූස්ටාර් ජය ලබති

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ පැවැති නාවික හමුදා ක්‍රීඩා සමාජය හා නිගම්බු යූත් පිල අතර පැවැති තරගයෙන් නාවික හමුදා පිලට තරගය නිමාවීමට විනාඩි කිහිපයක් තිබියදී ජයග්‍රහණය නතුකර ගැනීමට හැකි විය. නාවික හමුදා පිලේ ආර්. එම්. ජේ. ඩී. රත්නායක 83වැනි, 89වැනි හා 90වැනි මිනිත්තුවලදී ගෝල් ත්‍රිත්වයක් වාර්තා කළ අතර මොහොමඩ් අස්මීර් 87 මිනිත්තුවේදී නාවික හමුදාව වෙනුවෙන් ගෝලයක් එක් කළේය. නිගම්බු යූත් පිලෙන් වාර්තාවූ එකම ගෝලය අයි. පී. සිල්වා තරගයේ අවසන් විනාඩියේදී වාර්තා කළේය.

කලුතර වර්නන් ප්‍රනාන්දු පිටියේ පැවැති බ්ලූස්ටාර් - අප් කන්ට්‍රි ලයන්ස් අතර තරගයෙන් බ්ලූස්ටාර් පිල ගෝල් 2-1ක ජයක් අත්කර ගත්තේය. බ්ලූස්ටාර් පිලේ නයිජීරියානු ක්‍රීඩක චෙමිසී හා ඊ. බී. චන්න ගෝල් රැස්කළ අතර අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩක පී. ඒ. එවන්ස් ගෝලය එක් කළේය.

නව අදහස දක්වන්න