එජාප නායකත්වය සජිත්ට දිය යුතුයි | දිනමිණ

එජාප නායකත්වය සජිත්ට දිය යුතුයි

නුවන් කොඩිකාර

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කිරීමට නම් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වී සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වය අනිවාර්යෙන්ම ලබාදිය යුතු බව ගජසවි සමාජවාදී පෙරමුණ පවසයි.

එසේ සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය ලබා නොදුනහොත් මහින්ද රාජපක්ෂ මහතා තුනෙන් දෙකක බලයක් සහිත අගමැතිවරයා වීම වැළැක්විය නොහැකි බව එම පෙරමුණේ ජාතික සංවිධායක ඉන්දික ද සිල්වා මහතා පැවැසීය.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් නොවුණහොත්, ඔහු ඉවත් කර සජිත් ප්‍රේමදාස නායකත්වයට පත් කරන ලෙස ඉල්ලමින් බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් කොළඹට ගෙන එන බව සාමයික හා සාමාජයීය කේන්ද්‍රයේ ඊයේ (12) පැවැති මාධ්‍ය හමුවේ දී ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කෙළේය.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පසුගිය කාලය පුරා රනිල් වික්‍රමසිංහ මහතාට ඇහුම්කන් දී ඔහුගේ ඉල්ලීම් සියල්ල ඉටු කළ බවත්, දැන් විය යුත්තේ එතුමන් පාක්ෂිකයන්ගේ හඬට ඇහුම්කන් දී බිම් මට්ටමේ පාක්ෂිකයන්ගේ කැමැත්තට ඉඩ දී සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත් කිරීම බවත් එම පෙරමුණේ සභාපති අමිල රුවන් අමරසිංහ මහතා කීවේය.

රටට අවශ්‍ය වී ඇත්තේ ප්‍රේමදාස යුගයක් බවත් එය කළ හැක්කේ සිංහල බෞද්ධයන්ට ගරු කරන, අපේ සංස්කෘතිය හඳුනන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුත් සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බවත් අමරසිංහ මහතා පැවැසීය.

පසුගිය වසර තුනහමාරක කාලයේ එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ රජයට කිසිවක් සිදු කිරීමට නොහැකි වූ බව පැවැසු ඒ මහතා දැන් වත් සිය පාක්ෂිකයන්ගේ සිතුම් පැතුම් තේරුම්ගත හැකි නායකයකුට එක්සත් ජාතික පක්ෂය බාර දී ඉවත් විය යුතු බව ප්‍රකාශ කෙළේය.

යම් එහෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් නායකත්වයේ රැඳුන හොත් එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දපොළට නොයන බවත් එහි වාසිය ද මහින්ද රාජපක්ෂ මහතාට හිමි වන බවත් අමරසිංහ මහතා කීවේය.

එහි ප්‍රධාන ලේකම් රජීන්ද්‍ර මාපොලගේ, මැල්කම් පෙරේරා මහත්වරුන් ද අදහස් දැක්වූහ.

නව අදහස දක්වන්න