රටේ ගැටලු විසඳීමට මහමැතිවරයක් කැඳවීම කාලෝචිතයි | දිනමිණ

රටේ ගැටලු විසඳීමට මහමැතිවරයක් කැඳවීම කාලෝචිතයි

උපාලි කරුණාරත්න

රටේ ගැටලු නිවැරදිව විසඳීමට මහජන නියෝජිතයන් පියවර නොගන්නේ නම් මහ මැතිවරණයක් කැඳවා ජනතාවට පවතින ගැටලුවලට නිසි පිළිතුරු ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහ මැතිවරයක් කැඳවීම ඉතා කාලෝචිත බව හිටපු තානාපති සහ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත හා හිටපු විදේශ ලේකම් ආචාර්ය පාලිත කොහොන මහතා පැවසීය.

ජී. එස්.පී සහනය නැති වුවහොත් විශාල ගැටලුවක් ඇති නොවන බවද ඒ පසුපස අසරණ ලෙස ගමන් කිරීමට අවශ්‍ය නොවන බවද පාලිත කොහොන මහතා කියා සිටී.

මේ අදහස් පළ වූයේ ඊයේ (13) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. එළිය සංවිධානය විසින් මෙය පවත්වන ලදී.

එහිදී වැඩිදුරටත් ආචාර්ය පාලිත කොහොන මහතා මෙසේද කීය.

බටහිර රටවල් කීපයක් සහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් අපේ රටේ අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව නොයෙක් ප්‍රකාශ නිකුත් කරමින් ශ්‍රී ලංකාවට අවවාද දීමට ක්‍රියා කරනවා. අමෙරිකාවේ විදේශ අමාත්‍යාංශය, මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය, යුරෝපිය සංගමයේ නියෝජිතයන්, බ්‍රිතාන්‍ය සහ කැනඩා පාර්ලිමේන්තුව අප පිළිබඳව විවිධ මත දක්වනවා. අපේ රටේ පසුගියදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් සිදු කළ වෙනස මොවුන් සෑම දෙනාගේම ප්‍රශ්නය වී තිබෙනවා. එම වෙනස ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන වෙනසක් බවට ඔවුන් අර්ථ දක්වනවා. එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන්, යුරෝපීය සංගමයේ නියෝජිතයන්ද මෙරට ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ස්වාධිපත්‍ය ආරක්ෂා කළ යුතු බව පවසනවා. ඔවුන්ගේ සිතේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්න මැවී තිබෙන්නේ කරුණු කීපයක් නිසයි. ඔවුන් බලාපොරොත්තු වුණේ නැහැ පසුගිය 26 වැනි දින ශ්‍රී ලංකාවේ වෙනසක් ඇතිවන බව. ඉදිරියේ පවත්වන ඡන්දයකදී ඔවුන්ගේ ඉතාම කුළුපග මිත්‍රයෙකු වූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පත් කර ගැනීමටද ඔවුන් බලාපොරොත්තුව සිටියා. එවැනි අරමුණු සිතේ තබාගෙන ක්‍රියාත්මක වූ නිසා 26 වැනි දින වෙනස ඔවුන්ට ගැටලුවක් වී තිබෙනවා. ඒ නිසයි ඔවුන් අපට විවිධ බලපෑම් කරමින් උද්යෝගයෙන් ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳව කතා කරන්නේ. මගේ මතය මෙන්ම මෙරට සිටින බහුතර මතය වන්නේ නව අගමැතිවරයකු පත් කිරීම තුළින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට කිසිම හානියක් සිදුවී නොමැති බවයි.

26 වැනි දින ගත්තා වූ තීරණ ජනාධිපති ගත්තේ සැහැල්ලුවෙන් නොවේ කියා මට හොඳටම විශ්වාසයි. එතුමා මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගනිමින් රට වෙනුවෙන් ගනු ලබන තීරණ පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කරන්න ඇති. පසුගිය කාලයේ විවිධ හේතුන් නිසා ලංකාවේ ආර්ථිකයේ ගැටලු ඇතිවුණා. පාර්ලිමේන්තුව තුළත් එවැනි තත්ත්වයක් පැවැතියා. පැවැති ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ කොටස් ආණ්ඩුවෙන් ඉවත් වුණා. මෙවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක රටේ අනාගතය පිළිබඳව කල්පනා කර නිවැරදි තීරණ ගැනීමට ජනාධිපතිට සිදුවෙනවා. ඒ නිසයි එතුමා 26වැනි දින වෙනස සිදුකළේ. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ සිදුවූ එම වෙනස ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වෙනසක් බව කිසිදු විදේශික රාජ්‍යයකට, ආයතනයකට සහ නියෝජිතයන්ට කියන්න බැහැ. රටේ ජනතාවට පවතින තත්ත්වය පිළිබඳව යම් ගැටලුවක් පවතී නම් එයට පිළිතුරු ලබා ගැනීමට මහ මැතිවරණයක් කැඳවා තිබෙනවා. රටේ ප්‍රශ්න විසඳීමට ජනතා නියෝජිතයන්ට නොහැකි නම් ඒවා විසඳීමට තිබෙන සාධාරණම ක්‍රමය නැවත ජනතාව අතරට යාමයි. මෙහිදී ජනතාවට තමන්ට අවශ්‍ය නායකයන් තෝරාගත හැකියි. ජනාධිපති විසින් ජනතාවට අවශ්‍ය නායකයන් පත්කර ගැනීමට ගත් මේ ක්‍රියා මාර්ගය ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවක් ලෙස හැඳින්විය හැකියි.

අපේ රටට මේ වන විට ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. ජනතාව අතරට ගොස් ප්‍රශ්න කළොත් ඔවුන්ට පවතින ගැටලු පිළිබඳව ප්‍රකාශ කරයි. හැබැයි මේ වන විට රටේ ඇති වී තිබෙන වෙනස හේතුවෙන් යහපතක් සිදුවෙයි කියා මා බලාපොරොත්තු වෙනවා. ඇතිවූ වෙනස තුළින් තමන්ට යහපතක් සිදුවන බවට විශ්වාසයක් ජනතාව තුළ ඇති වී තිබෙනවා. ජී. එස්. පී සහනය ලැබෙන්නේ රටක ඒක පුද්ගල ආදායම ඩොලර් 4200ට අඩු නම් පමණයි. දැනට අපේ එම ආදායම 3800ට වඩා ඉක්මවා තිබෙනවා. අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4200 ඉක්මවු ගමන් අපට ජී. එස්. පී සහනය නවතිනවා. ඒ නිසා මේ සහනය නැති වුවහොත් ලොකු ප්‍රශ්නයක් මතු වේ කියා කිසිම කෙනෙකුට කියන්න බැහැ. පසුගිය සති කීපය තුළ රුපියල අවප්‍රමාණය වුණා. ජී.එස්.පී සහනය වටින්නේ වෙළෙඳ භාණ්ඩයක වටිනාකමින් සියයට පහක් පමණයි. එම නිසා ජී.එස්.පී නැතිවුණොත් ව්‍යසනයක් ඇති වන්නේ නැහැ. මීට පෙර ජී.එස්.පී සහනය ඉවත් කරන වෙලාවෙ අපේ භාණ්ඩ යුරෝපයට අපනයනය කරන්න හැකිවේද කියා ප්‍රශ්න මතු වුණා. රජය එයට මුහුණ දුන්නා. හැබැයි මත්ස්‍ය නිෂ්පාදනවලට යම් බලපෑමක් ඇතිවිය හැකියි.

රටවල් දෙකක් අතර ඇතිකරගත් ගිවිසුමක් ක්ෂණයකින් අහෝසි කරන්න බැහැ. ගිවිසුමක් අහෝසි කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා.

සමාජ ව්‍යවසායක සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදය සංවිධානයේ ශ්‍රී ලංකාවේ තානාපති එරන්ද ගිනිගේ මහතා-

මේ අවස්ථාවේ රටේ ව්‍යවස්ථා අර්බුදයක් පවතින බවට ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කරනවා. හැබැයි මේ පිළිබඳව කතා කරන බොහෝ දෙනෙක් ව්‍යවස්ථාව කියවා නැහැ. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන ලෙස මා මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අපට සිටින්නේ ජනතා ඡන්දයෙන් පත් කරන ජනාධිපතිවරයෙක්. හැබැයි ඇතැමුන් කියන ලෙස ජනාධිපතිට ක්‍රියා කරන්න බැහැ. ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපති බැඳී සිටිනවා. එතුමා ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුතුයි.

පසුගියදා රටේ ඇතිවූ වෙනස හදිසියේ ඇති වුවක් නොවේ. එම වෙනස ජනතාව අවුරුදු ගණනාවක සිට බලාපොරොත්තු වූ දෙයක්. පසුගිය කාලයේ මහ බැංකුවේ සිදුවු බැඳුම්කර මංකොල්ලයත් සමඟ පැවැති රජය ජනතාව ප්‍රතික්ෂේප කළා. එම නිසා පසුගියදා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමත් සමඟ ජනතාව ප්‍රීති ඝෝෂා නැඟුවා. පසුගිය කාලයේ ඒකාබද්ධය පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙස කටයුතු කළ යුතු වුවත් ඔවුන් කොන්කර එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත පිරිසක් විපක්ෂයේ තබා ගත්තා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළේ එක්සත් ජාතික පක්ෂයයි.

2015දී සිදුවුණේ රෙජීම් වෙනසක්. 2009දී ත්‍රස්තවාදය පරාජය කරමින් අත්පත් කර ගත් නිදහස හේතුවෙන් අපේ රට දියුණු තත්ත්වයට පත් වෙයි කියා අැතැමුන් බියවීම රෙජීම් වෙනසට හේතුව වශයෙන් දැක්විය හැකියි. දමිළ ඩයස්පෝරාවේ ඇතැමුන්ගේ උසි ගැන්වීම්ද මේ වෙනස කිරීමට බලපෑවා. හැබැයි විදේශීය කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන මේ වෙනස කිරීමට යොදා ගත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා වැනි අසාර්ථක පුද්ගලයන්. රටක් බිඳ වැට්ටීමේදි ආර්ථිකය බිද වැට්ටීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම බටහිර ඇතැම් කොටස් මේ රටේ ව්‍යවස්ථා වෙනසක්ද බලාපොරොත්තු වුණා. ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයත් සමඟ කුමන්ත්‍රණ කළේ අද ඊයේ නොවේ.

නිදහස් වෙළෙඳ ගිවිසුම් ඩොනල්ඩ් ට්‍රම්ප්ද අහෝසි කර තිබෙනවා. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම තුළින් අපේ ජලයද නිදහස් කළා. සිංගප්පූරුවට මෙන්ම ඉන්දියාවටද අපේ ජල සම්පත ඉතා වටිනවා.

ඡායාරූපය- සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න