ශ්‍රේෂ්ඨාධිකරණ දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට මැ.කො සභාව බැඳී සිටිනවා | දිනමිණ

ශ්‍රේෂ්ඨාධිකරණ දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට මැ.කො සභාව බැඳී සිටිනවා

ජයසිරි පේදුරුආරච්චි
ඩබ්ලිව්. පී. ධර්මසේන

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අර්බුදයක් තිබේ නම් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණ දෙන තීන්දුව ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිසන් සභාව බැඳී සිටින බවත්, අධිකරණයට ඉදිරිපත් වන කරුණු අනුව අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව පිළිගන්න සියලු දෙනාටම සිදු වන බවත් ජාතික මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (14) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති මැතිවරණ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් සහ සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීමට පැවැත් වූ රැස්වීමකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

මෙවර දේශපාලන වෙනස්වීමේ දී රජයේ ආයතනයක වෙඩි තැබීමේ අවාසනාවන්ත සිද්ධියක් හැරෙන්න වෙනත් බරපතළ සිද්ධි වාර්තා වුණේ නෑ. එය මුළු ලෝකයම මවිත කරවන සිදුවීමක්. එහෙත් දෙදාහ දශකයේ ආරම්භයේ පවා ඡන්දයක් අවසන් වුණාම ගෙවල් ගිනි තැබීම්, මරා ගැනීම් හා රජයේ දේපළවලට හානි කිරිම් සිදු වුණා. මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවීමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ අනුන්ගේ මතය දැරීමට ඇති අයිතිය ඔවුන්ට තියනවා කියන එක බව පෙන්වනවා. එසේම බහුතරයේ මතය සුළුතරයට අගතියක් නොවන සේ ක්‍රියාත්මක කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනවා.

පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහෙන් එකසිය හැත්තෑ පහක් එක ගොඩේ හිටියත් අනෙක් පනහේ මතය බුල් ඩෝසර් කරන්නේ නැතිව ඒ අයගේ මතය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දිය යුතුයි. ජනතාවටත්, දේශපාලන නායකයන්ටත් අපි ස්තූතිවන්ත වෙනවා. ඒක අපේ වගකීම. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කරුණ සුළුතරයේ මතයට හානියක් නොවන පරිදි බහුතරයේ මතය ක්‍රියාත්මක කිරීමයි. ඒ ක්‍රියාත්මක කරන මතය දැන ගන්න පුළුවන් කැමැත්ත විමසීමකින්.

බොහෝ දෙනා මේ ඡන්දය බටහිරින් ආපු දෙයක් බටහිර ගුණ්ඩුවක් ලෙස හඳුන්වනවා. මානව හිමිකම්, අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, මූලික මිනිස් අයිතිවාසිකම්, යහපාලනය, සාකච්ඡා, සම්මුති, තීරණගැනීම ආදී මේ සියලු දේ බුදුන්ගේ කාලයේ සහ රජවරුන්ගේ කාලයේ පවා තිබුණා.

කෙසේ වෙතත් ලබන වසරේ දී අපිට පළාත් සභා, මහ මැතිවරණය සහ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. පළාත් පාලන මැතිවරණයක් පෙනෙන තෙක් මානයේ නැති වුණත් අනෙකුත් සියලු ඡන්ද පැවැත්වීමේ කාලය උදා වෙනවා. ඒ අතරතුර දී ජනමත විචාරණයක් ඒවිද දන්නෙත් නෑ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසන් සභාව ලෙස අපි ඕනෑම මැතිවරණයක් පවත්වන්න සූදානමින් සිටිනවා.

මෙවර පළාත් සභා මැතිවරණයට සියල්ල සූදානම් කරමින් සිටින විට එකපාරට මහ මැතිවරණයක් කඩා පාත් වුණේ. මැතිවරණයකට සූදානමින් සිටි නිසා අපිට එය ප්‍රශ්නයක් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් අපි ක්‍රියාත්මක කරනවා. මැතිවරණය කොමිසමේ සාමාජිකයකු ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම ගැනත් මේ දවස්වල කතා බහ වෙනවා. කවුරු හරි පුරවැසියකුට හිතෙනවා නම් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා ඔහුට හෝ ඇයට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට අයිතිය තිබෙනවා. එය පෞද්ගලික අදහසක් නිසාද, පොදු යහපත ගැන සිතා ද කියන්න දන්නේ නෑ. තමන්ගේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම වැදගත්.

මැතිවරණ කොමිසමේ නීති අධ්‍යක්ෂ නීතිඥ නිමල් පුංචිහේව, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගණවර්ධන, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ. පොලීසියේ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න