සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට වසර 100යි | දිනමිණ

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට වසර 100යි

ප්‍රින්ස් ගුණසේකර

ගුණසිංහ පුර ප්‍රයිස් ක්‍රීඩාංගණයේදී අද දවස පුරා උත්සව

ආසියාවේ පැරැණිතම ක්‍රීඩා සමාජය ලෙස සැලකෙන, ශ්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසයේ වැඩිම ශූරතා හා වැඩිම කුසලාන දිනාගත් සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය වසර 100ක් සම්පූර්ණ කරයි. පාපන්දු පිටියේ රජු ලෙස සැලකෙන නැසීගිය පී. ඩී සිරිසේන මාස්ටර් ඇතුළු ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් රැසක් බිහිකළ සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සිය ශත සංවත්සර සැමරුම ගුණසිංහ පුර ප්‍රයිස් ක්‍රීඩාංගණයේදී අද දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වසර 1918දී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය ආරම්භ වූයේ එහි නිර්මාතෘ දියෝනිස් අප්පු මහතාගේ මූලිකත්වයෙනි. පිටකොටුව කෙසෙල්වත්ත ආසන්නයේ පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතික සෝන්ඩර්ස් මහතා ඒ අවට ජීවත්වූ සියලුම තරුණයන් සමග ප්‍රියමනාපව කටයුතු කිරීම හේතුවෙන් මේ අලුත් ක්‍රීඩා සමාජයට සෝන්ඩර්ස් යන නාමය තබා තිබේ. සමාජයේ කාගේත් හිත දිනාගත් සුද්දාගේ නම ඊට උචිතයැයි දියෝනිස් අප්පු මහතා ඇතුළු සියලු සාමාජිකයෝ ඒක මතිකව තීරණය කළහ.

සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය එදා මෙදාතුර වානිජ රැල්ලට හසුව නැති අතර මේ හේතුවෙන් පාපන්දු ක්‍රීඩකයන් බිහිකිරීම හැර මුදල් ඉපැයීම ක්‍රීඩා සමාජයේ පරමාර්ථය නොවීය. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන් බිහිවූ බොහෝ ක්‍රීඩකයෝ ආර්ථික අපහසුකම් මැද වුවද තම ඉලක්කයට කරා ලඟා වූහ. එදා සෝන්ඩර්ස් පාපන්දු කණ්ඩායම ඉදිරියට ගෙන යෑම උදෙසා සුමතිපාල මුදලාලි, කාපිරි මුඩුක්කුවේ විලි අයියා, කෙසෙල්වත්තේ මාටින් සිංඤෝ හා රිචඩ් ආදී වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු උපකාර කළ බව සඳහන් වේ.

වසර 1957 සෝන්ඩර්ස් පිලට 'ෆුට් බෝල් සිරා' නොහොත් පී.ඩී සිරිසේන මහතා එක්වූවේය. සිරිසේන මාස්ටර් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ මිය යනතුරුම සෝන්ඩර්ස් පිලට හෙවනැල්ල සේ සමීප විය. ශ්‍රී ලංකාවේ පැවැති ඕනෑම පාපන්දු තරගයකදී එක් වතාවක් හෝ කුසලානයක් දිනා ගත් සුපිරිතම පාපන්දු කණ්ඩායම ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම වාර්තා පොතට එක්වන්නේ සිරිසේන මාස්ටර්ගේ දක්ෂතාව හේතුවෙනි. හෙතෙම ක්‍රීඩකයෙකු ලෙසත්, පසුව පුහුණුකරුවෙකු ලෙසත් අලුත් පරපුරකට මාවත විවර කළ අයෙකි. 1960 දී පැවති සිලෝන් එෆ්.ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී වැල්ලවත්ත රෙදිමෝල (Wellawatte Spinning and Weaving Mills) කණ්ඩායමට එරෙහිව පී. ඩී. සිරිසේන නම් වූ යොවුන් ක්‍රීඩකයා ගෝල් 06ක් ලබා ගනිමින් පාපන්දු වාර්තා පොතට එක් විය. ඔහු එම තරගාවලියේදී ගෝල් 24ක් වාර්තා කිරීම ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩකයකුට අදටත් බිඳහෙලා දැමීමට නොහැකිවී තිබේ. සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය එෆ්. ඒ. පාපන්දු කුසලානය පහලොස් වතාවක් කෙසෙල්වත්තට රැගෙන ගොස් ඇති අතර එයද තවමත් ශ්‍රී ලාංකේය පාපන්දු පිටියේ නොබිදුණු වාර්තාවකි.

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මාලිගාවත්ත නාගරික ක්‍රීඩා පිටිය පී. ඩී. සිරිසේන මහතා නමින් නම් කිරීම ඔහුට දැක්වූ උසස්ම උපහාරයක් ලෙස සැලකේ. කොළඹ අවටින් බිහිවූ බොහෝ දේශපාලන නායකයෝ සෝන්ඩර්ස් පිලට ක්‍රීඩා කිරීම හෝ උදව් කිරීම ද කැපී පෙණුනි. ශ්‍රී ලංකා පාපන්දු පිල මෙහෙයවූ වැඩිම නායකයන් පිරිසක් බිහිව ඇත්තේ ද සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයෙන්වීම විශේෂත්වයකි.

අද පෙ.ව. 8.00ට ආරම්භවන සැමරුම් උත්සවය රාත්‍රිය දක්වාම පැවැත්වෙන අතර මෙයට වසරකට පමණ පෙර නැසීගිය පී.ඩී. සිරිසේන නාමයට ගෞරව දැක්වීම උදෙසා විශේෂාංග කිහිපයක්ම සංවිධාන කර ඇත. පෙරවරු 8.00-12.00 දක්වා සෝන්ඩර්ස් පාපන්දු ඇකඩමියේ සිසුන්ගේ තරගාවලිය, පස්වරු 2.00ට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ වයස 40න් ඉහළ සෝන්ඩර්ස් කණ්ඩායම සහ වත්මන් වයස 40ට ඉහළ සෝන්ඩර්ස් කණ්ඩායම අතර තරගය, පී.ඩී. සිරිසේන අනුස්මරණ අභියෝගතා කුසලාන සඳහා පස්වරු 4.00 ට පී.ඩී. සිරිසේන අනුස්මරණ අභියෝග ශූරතාව වෙනුවෙන් කොළඹ පාපන්දු සමාජය හා ජාවා ලේන් කණ්ඩායම් අතර පාපන්දු තරගයෙන් අනතුරුව පස්වරු 6.00ට පී.ඩී. සිරිසේන චරිතාප්‍රදානය එළි දැක්වීම සිදු කෙරේ.

නව අදහස දක්වන්න