පැය 24න් කසල කොම්පෝස්ට් කරන යන්ත්‍රයක් | දිනමිණ

පැය 24න් කසල කොම්පෝස්ට් කරන යන්ත්‍රයක්

සී/ස ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම්හි (ICC) අනුබද්ධ සමාගමක් වන (ICC) ග්‍රීන් එනර්ජි සොලුෂන්ස් සමාගම කාබනික කසල පැය 24න් කොම්පෝස්ට් පොහොර බවට පත් කරන යන්ත්‍රයක් ගෘහස්ථ, මහල් නිවාස හා වාණිජමය භාවිතය සඳහා විවිධ ධාරිතා යටතේ හඳුන්වා දෙයි. ගෘහස්ථ ඒකකය “ෆුඩ් සයික්ලර්” (Food Cycler) නම් වේ.

එහි ඇති සක්‍රිය කාබන් පෙරහන දුගඳ ඉවත් කරයි. එමඟින් පැය 6 සිට 8 දක්වා කාලයකදී කසල කිලෝ 1.5ක් කිලෝවොට් එකකට අඩු විදුලියකින් කොම්පෝස්ට් පොහොර බවට පත් කරයි. මේසයක් උඩ තැබිය හැකි කුඩා උපකරණයක් වන මෙහි ඇති භාජනයට කසල දමා පියන වසා යන්ත්‍රය පණ ගැන්විය යුතුය. රෙදි සෝදන යන්ත්‍රයක් මෙන් කාර්යය අවසන් වූ පසු එය නවතී. දුගඳ අඩු කිරීමට අවශ්‍ය නම් සක්‍රිය කාබන් පෙරහන ලබා ගත හැකිය.

වාණිජ මාදිලියේ යන්ත්‍රද මේ අයුරින්ම ක්‍රියා කරන අතර එහි මෙහෙයුම් චක්‍රය පැය 24කි. අවශ්‍යතාව අනුව වැඩි ධාරිතාවක් ඇති යන්ත්‍ර සහ කසල බඳුන් ඔසවන යන්ත්‍රද සපයනු ලැබේ. “ ICC ග්‍රීන් එනර්ජි සොලුෂන්ස් සමාගම දිගු කලක් තිස්සේ පරිසරය සුරකින උපකරණ අලෙවි කරනවා. ක්ෂණික කොම්පෝස්ට් යන්ත්‍රය හඳුන්වා දීමත් සමඟ මිහි මව සුරැකීමේ පුරුද්ද ප්‍රවර්ධනය කරන්නට අපේක්ෂා කරනවා.” ICC සමාගමේ අධ්‍යක්ෂ නිහාල් ද සේරම් මහතා පැවසීය. ICC ග්‍රීන් එනර්ජි සොලුෂන්ස් කුඩා කසල ප්‍රතිකාර පද්ධතියක් වන එක්ස්ට්‍රා පැක්(Extra Pac) සැපයුම්කරුවාද වේ.

එමඟින් අපවිත්‍ර ජලය හා කසල ප්‍රයෝජනයට ගත හැකි තත්ත්වයට පත් කරයි. වර්තමානයේ එවැනි යන්ත්‍ර පහළොවකට වැඩියෙන් ශ්‍රී ලංකාවේ භාවිත වේ. එමෙන්ම සූර්ය පැනල සැපයුමෙහි ප්‍රමුඛයෙකු වශයෙන්ද දැනට මෙගාවොට් 11කට වැඩියෙන් සූර්ය පැනල සවි කර ඇත.

නව අදහස දක්වන්න