රත්නප්‍රියට එරෙහිව විශේෂ විමර්ශනයක් | දිනමිණ

රත්නප්‍රියට එරෙහිව විශේෂ විමර්ශනයක්

මහින්ද අලුත්ගෙදර

පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය නමැත්තා සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය විසින් ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල පිළිබඳ පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශන ඒකකය මඟින් විමර්ශන ආරම්භ කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා විසින් මේ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන අතර ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට උපදෙස් දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පුරවැසි බලය නමැති සංවිධානයේ නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය නමැත්තා පසුගිය 6 දා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රටතුළ අරඟලයක් නිර්මාණය වන අන්දමේ හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් නිකුත්කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය 9 දා පොලිස් මූලස්ථානය වෙත අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

විශේෂ විමර්ශන ඒකකය විසින් පැමිණිලිකරුගෙන් දීර්ඝ ප්‍රකාශයක් සහ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන්කර ගැනීමෙන් අනතුරුව කොළඹ 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත නඩු අංක බී.3816 යටතේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ කරුණු වාර්තාකර ඇත.

ඊට අමතරව රූපවාහිනී නාලිකාවලින් අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණ්ය නොකළ දර්ශන ලබාගැනීම සඳහා ද අධිකරණ නියෝගයක් නිකුත්කර තිබෙන අතර පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව මේ විමර්ශනය සිදුකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

නව අදහස දක්වන්න