දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ජල නළ පුපුරායාම් නිතරම-මාර්ගයත් ගිලා බැහැලා | දිනමිණ

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ජල නළ පුපුරායාම් නිතරම-මාර්ගයත් ගිලා බැහැලා

සිගිරිය විශේෂ

දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය, දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගය, මෙන්ම දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගය දිනපතාම ජල නළ පුපුරායාම හේතුවෙන් විශාල හානි සිදුවෙන බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

වසර ගණනාවක සිට මේ පිළිබඳ මාර්ග සංවර්ධන අධිකාරියට හා ජල සම්පාදන මණ්ඩලයට දැනුම් දුන්න ද ඊට නිසි පිළියම් නොයෙදීම හේතුවෙන් මාර්ගයේ ගමන් කරන ජනතාව මෙන්ම අවට පදිංචිකරුවන් ද දැඩි අසීරුතාවට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති. දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ උසාවිය හන්දිය ඉබ්බංකටුව ජලාශ හන්දිය ආදී ස්ථාන කිහිපයකම ඒ 6 ප්‍රධාන මාර්ගයේ මෙයාකාරයෙන් ගිලාබැසීම් සිදු වීම නිසා මාර්ගයට දැඩි අලාභහානි සිදු වීම මෙන්ම රථවාහන අනතුරු රැසක් ද සිදුවී ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. මීට අමතරව ප්‍රධාන මාර්ගයේ දඹුල්ල නගර ආසන්නයේ ම ස්ථාන කිහිපයකින් ම මාර්ගය ගිලාබැසීම් සිදුව තිබෙන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

දිවයිනේ ප්‍රධානතම මාර්ග දෙක වන ඒ 9 මාර්ගය ඒ 6 මාර්ගය එක්තැන් වන දඹුල්ල නගරයේ මිරිස්ගොනියා හන්දිය මෙන්ම අනුරාධපුර මාර්ගය හබරණ මාර්ගය ද මේ ආකාරයෙන්ම භූ ගත ජල නළ පුපුරායාමෙන් ප්‍රධාන මාර්ගය වළවල් හෑරී විනාශ වීම සිදුවෙන බව ජනතාව පෙන්වා දෙති.

මේ ස්ථානවලට නිරන්තරයෙන්ම දඹුල්ල ජලාපවාහන මණ්ඩලයේ ඉහළ නිලධාරීන් පැමිණියද ඔවුන් එකිනෙකාට කියා සිටින්නේ තමන් මේ පිළිබඳ නොදන්නා බවත් අලුතින් පැමිණි නිලධාරීන් නිසා මේ පිළිබඳ අවබෝධයක් නොමැති බවත්ය. ජලාපවාහන මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසීමේ දී කියා සිටින්නේ පැරණි ජල නළ පද්ධතියක් ප්‍රධාන මාර්ගයට මැදිකොට මාර්ගය ඉදිකර තිබීම නිසා එම ජල නළ පද්ධතිය පුපුරා යෑමෙන් සිදු වන බවය. කෙසේවෙතත් ප්‍රදේශවාසීන් කියා සිටින්නේ නිසි ප්‍රමිතියකින් තොරව ජල නළ එළා තිබීම නිසා භූගත ජල නළ දිනපතාම පුපුරා යාම හේතුවෙන් මාර්ගයට පමණක් නොව ප්‍රදේශවාසීන්ට ද බාධා එල්ලවන බව ය.

නව අදහස දක්වන්න