ක්‍රිකට් පිටිය දික්විජය කළ දික්වැල්ල | දිනමිණ

ක්‍රිකට් පිටිය දික්විජය කළ දික්වැල්ල

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්තය පිල අතර අද (3) නවසීලන්තයේ ඊසාන දිග අර්ධද්වීපයේ මුහුදුබඩ පළාතක් වන ටෝරංගා නුවරට යාබදව පිහිටි ඉපැරණි මෞන්ගනියු කඳුකරයේ මනරම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන පළමු එක්දින තරගයට නිරෝෂන් දික්වැල්ල එක්වන්නේ වෙනදාට වඩා වැඩි වගකීමක් කරපින්නාගෙනය.

2014 නොවැම්බරයේ ඉන්දියාවේ රන්චි නුවරදි එක්දින වරම් ලැබූ මේ 25 හැවිරිදි කඩුලු රකින වමත් පිතිකරුවා අද තරගයේදි පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකයා ලෙස භාරදුර රාජකාරියක් සිදු කරනු ඇත.

වසර 2012 ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ ඩිලන්ත නිරෝෂන් දික්වැල්ල මේ ගෞරවාන්විත සම්මානය ලැබූ දෙවැනි ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයා වේ. ඊට පෙර තුන්ඉරියව් ක්‍රීඩක කෞශල්‍ය වීරරත්න 2000දී එම ගෞරවය දිනාගත්තේය. අවසන් වරට පසුගිය වසරේ සම්මාන උළෙලේදි හසිත බෝයගොඩ ත්‍රිත්ව විදුහලට එම ගෞරවය අත්කර දුන් තුන්වැනි ක්‍රීඩකයා වේ.

ජාතික කණ්ඩායමට සේන්දුවීමෙන් වසර 4කට පසුව එක්දින පිලේ උපනායකත්වයෙන් පිදුම් ලැබූ මේ ප්‍රහාරාත්මක පිතිකරුවාට අද තරගය සිය ක්‍රිකට් දිවියේ අමතක නොවන සංධිස්ථානයක් වනු ඇත. එදා මෙදා තුර ගතවූ කාලයේදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිය දස්කම් මුවහත් කරගත් දික්වැල්ලට මීට වසර 6කට පෙර ලැබුණු ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය කදිම පන්නරයක් වූවාට කිසිදු සැකයක් නැත.

එකළ පාසල් ක්‍රිකට් පිටියේ දී ත්‍රිත්ව විදුහලට ජයග්‍රහණ රැසක් අත්කරදීමට උරදුන් ශ්‍රී ලංකා එක්දින පිලේ නව උපනායකයා ජාත්‍යන්තර තරග බිමේදිත් එවැනිම දායකත්වයක් ලබාදුන්නේය. හෙතෙම ලෝක පූජිත පන්දු යවන්නන් ඔහුගේ පිතිහරඹය හමුවේ අසරණ වුයේ වරක් දෙවරක් නොවිය.

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා වසර දෙකක් ගතවීමටත් පෙර ජාතික ටෙස්ට් පිලට එක්වූයේ 21 හැවිරිදි යොවුන් ක්‍රීඩකයකු ලෙසටය. 2014 වසරේ ජූලි මාසයේ දි දකුණු අප්‍රිකානු පිලට එරෙහිව එස්.එස්.සී.පිටියේ පැවැති ටෙස්ට් තරගයේදි මංගල ටෙස්ට් වරම් ලබා පළමු ඉනිමේදි ලකුණු 72ක්ම රැස් කළේ ප්‍රතිවාදින්ගේ නළල් තල රැළි ගන්වමිනි. මේ වනවිට ටෙස්ට් තරග 27කදී ලකුණු 1436ක් රැස් කිරීමට සමත්වූ දික්වැල්ල මෙතෙක් ශතකයක් වාර්තා කිරීමට අසමත්වූවත් අර්ධ ශතක 10ක් රැස් කර තිබේ. ඊට අමතරව කඩුලු රකින්නකු ලෙස දස්කම් පාමින් උඩපන්දු 66කුත්, ස්ටම්ප් කිරීම් 17කුත් වාර්තා කළේය. ටෙස්ට් තරග බිමේදි මැදපෙළ පිතිකරුවකු ලෙස කටයුතු කරන දික්වැල්ල තරග 46ක සිය එක්දින තරග දිවියේදි නම් ශතක දෙකකට හිමිකම් කියයි. එම ශතක දෙකම ඔහු රැස් කළේ 2017ජූලි මාසයේ හම්බන්තොට දී සිම්බාබ්වේ පිලට එරෙහිව පිට පිට තරග 2කදීය.

මීට අමතරව විස්සයි20 තරග බිමේදිත් ශ්‍රී ලංකා පිලට නැතිවම බැරි ක්‍රීඩකයකු වන දික්වැල්ල අද තරගයේදි ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම පිතිහරඹ තුරුම්පුවක් ලෙස කාගෙත් බලාපොරොත්තුවක් බවට පත්වී සිටී.

ඔබ්සර්වර් - මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රීඩකයකු ලෙසින් ඔහු ජාතික ක්‍රිකට් පිලේ දොරටු විවර කරගත් ක්‍රීඩකයන් අතර තරුවක් බවට පත්වි සිටී. මෙවර එම කීර්තිමත් සම්මානයෙන් පිදුම් ලබන පාසල් ක්‍රීඩකයාටත් ඉදිරියේදි ජාතික කණ්ඩායමේ දොරටුව විවර වනු ඇත.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න