පළාත් සභා නවයේම ඡන්ද එකවර පැවැත්විය යුතුයි | දිනමිණ

පළාත් සභා නවයේම ඡන්ද එකවර පැවැත්විය යුතුයි

චමීර ඇල්ලදෙණිය

පළාත් සභා 9 යේම මැතිවරණ එකවර පැවැත්විය යුතු බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළ කළේ පසුගියදා සිදු වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩු පිහිටුවීමේ කුමන්ත්‍රණය පැරදවීම සඳහා එක්වූ සිවිල් සංවිධාන නියෝජිතයෙන් සමඟ පැවති හමුවකදීය. මේ හමුව වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

පළාත් මැතිවරණයේ තිබෙන ගැටළුව, පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන දේශපාලන පක්ෂ එකඟ වෙලා එම පනත සම්මත කර ගත යුතුයි. මගේ අදහස නම් පළාත් සභා මැතිවරණ 9 ම එකට තැබිය යුතුයි. මොකද යුද්ධය නිසයි මෙය කොටස් වශයෙන් තිබ්බේ. දැනටමත් අවුරුද්දක් පමා වෙලා තිබෙනවා සමහර පළාත් සභා. තවත් මාස කිහිපයක් තිබෙනවා ඉතිරි පළාත් සභා විසුරුවා හරින්න.

මේ සියල්ලම එක ඡන්ද ක්‍රමයක් යටතේ එකට පැවැත්විය යුතුයි. අපි පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කළා. කොට්ඨාස වශයෙන් සහ අනුපාත ක්‍රමයත් වශයෙන්. නමුත් ඒ කොට්ඨාස කැඞීමට පාර්ලිමේන්තුවේ පක්ෂ විරුද්ධ උනා. ඒ නිසා තමයි මේ ගැටළුව ඇති වී තිබෙන්නේ. ඉතින් ඒ පක්ෂ එකතු වෙලා තීරණය කළ යුතුයි මේ අලූත් ක්‍රමයට හෝ කොට්ඨාස සහ අනුපාත ක්‍රමයේ සම්මිශ්‍රණයට අනුව ඡන්දෙ තියන්න. එහෙම නැත්නම් පරණ සමානුපාත ක්‍රමයට ඡන්ද තියන්න. ඒ දෙකෙන් එකක් කර ඉක්මනින් පළාත් සභා 9 ම මැතිවරණ පැවැත්විය යුතු යැයි ද පැවසීය.

නව අදහස දක්වන්න