මාදුළුවාවේ සෝභිත නාහිමි දැක්ම සදානුස්මරණීයයි | දිනමිණ

මාදුළුවාවේ සෝභිත නාහිමි දැක්ම සදානුස්මරණීයයි

ඇමැති සජිත් ප්‍රේමදාස

මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දැක්ම, එඩිතරභාවය, දූෂණයට හා වංචාවට එරෙහිව නැගී සිටීමේ ගුණය සදානුස්මරණීය බව නිවාස, ඉදිකිරීම්, සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර කරඹවැව ඉදිවූ “ශ්‍රී සෝභිත නාහිමිගම” ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා ම‍ගේ ජන්ම දිනය දා ‘යළි පිබිදුනු ගම් උදාව’ වැඩසටහන යටතේ දිවයිනේ 151 වන උදා ගම්මානය එනම්, “ශ්‍රී සෝභිත නාහිමිගම” ජනතා අයිතියට පත් කරන්නට හැකිවීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වනවා. ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරඹවැව ප්‍රදේශයේ ඉදි වූ මෙම ගම්මානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත් වන 49 වන උදා ගම්මානයයි.

ජන්ම දිනයදා මා තෑගි භෝග ලබා ගන්නවා වෙනුවට මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමියන්ට කෙළෙහිගුණ දක්වන්නට මගේ ජන්ම දිනය කැප කිරීමට මා තීරණය කළා. මෙරට සාධාරණ සමාජයක්, යහපාලනයත් නිර්මාණය වූයේ උන්වහන්සේගේ නායකත්වය නිසයි. 2015 ජනවාරි 08 වනදා සිදුවූ දැවැන්ත සමාජ පරිවර්තනය එහි ප්‍රතිඵලයයි. උන්වහන්සේගේ අමරණීය දැක්ම නිසා අද මෙරට ස්වාධීන අධිකරණය, ස්වාධින පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම හා ස්වාධීන අල්ලස් කොමිසම බිහි වුණා. දේශපාලන ඇඟිලි ගැසීමෙන් තොරව සාධාරණ සමාජයක් මේ රටේ බිහිවුණේද උන්වහන්සේගේ නිර්මල දැක්ම හා දර්ශනය නිසයි. සෝභිත නාහිමියන් කලට වේලාවට දානය වළඳන්නේ නැතිව, හරියාකාර නින්දක් නැතිව රට වටේ ගොස් දූෂණයට, වංචාවට, භීෂණය, ත්‍රස්තවාදයට එරෙහිව මහා මෙහෙවරක් ඉටු කළා. වෙනස් කිරීමට නොහැකි යැයි පැවැසූ ආණ්ඩුව වෙනස් කිරීමේ පුරෝගාමී මෙහෙවර ක්‍රියාත්මක කළේද උන්වහන්සේයි.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීමට මට හැකි වූයේද මාදුළුවාවේ සෝභිත නාහිමියන් ආරම්භ කළ ජනතාවාදී ප්‍රගතිශීලී ජන ව්‍යාපාරය නිසයි බො‍හෝ අවස්ථාවලදී බො‍හෝ අයට මුල අමතකවෙනවා. මුල අමතක නොකරන්නැයි යන පාඩම අද මගේ උපන්දින දා ඔබටත්, රටටත් ලබා දෙන ආදර්ශයයි. කිසිම දිනක මුල අමතක කරන්නට එපා. මුල අමතක කර යන සෑම ගමනක්ම අසාර්ථක, අවිනිශ්චිත ගමනක් බවට පත්වෙනවා. දශක ගණනාවක් විපක්ෂයේ සිටි අපට මැති, ඇමැතිකම් හා රාජ්‍ය බලය ලබාගෙන ජනතාවට සහන ලබා දෙන්නටත්, සංවර්ධනය සිදු කරන්නටත්, තරුණ පරපුරට රැකියා ලබා දෙන්නටත්, අවස්ථාව හිමිවූයේද සෝභිත නාහිමියන් නිසයි. මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට අපගේ ගෞරවය දණ නමස්කාරව පුද කර සිටිනවා.

සෝභිත නාහිමියන්ගේ දැක්ම හා ඒ ගමන සදා අමරණීයයි. විනයානුකූලව කටයුතු කරන්නැයි උන්වහන්සේ අපට ඉගැන්වූවා. නිවාස වැඩසටහන්, බිම් මට්ටමේ සහන වැඩසටහන්,ක්‍රියාත්මක කිරීමේදී විනයානුකූලව අප සියලු දෙනා කටයුතු කළ යුතුයි. විනය තිබෙන තැන ජයග්‍රහණයද, විනය නොමැති තැන පරාජයද හිමිවනවා. රාජ්‍ය බලය හිමිවුණා යැයි කියා අප කිසිවිටක උදම් වන්නට හොඳ නැහැ. විනයානුකූලව ජනතාවට ඉටු කරන සේවාව විනිවිද භාවයෙන් අප ඉටුකළ යුතුයි. එසේ නොකළහොත් කෙබඳු සංවර්ධනයක් සිදුකළත් වැඩක් වන්නේ නැහැ. විනයක් නොමැති තැන අප පරාජයට පත්වනවා. ශක්තිමත් ගමනක් යෑමට සියලුදෙනා සූදානම් විය යුතුයි.

සති දෙකක් ඇතුළත කුඩා ගම්මාන කේන්ද්‍ර කර ගනිමින් මුළු රටේම නිවාස කමිටු ස්ථාපනය කරන්නට ඕනෑ. සති දෙකකින් පිහිටුවීමට නොහැකි නිවාස කමිටු නැවත පිහිටුවන්නට බැහැ. කමිටු පිහිටුවා ගමේ නිවාස ගැටලු පිළිබඳව අවබෝධ කරගනිමින් සෝභිත නාහිමියන් අපට ඉගැන්වූ පාඩම වන සංවර්ධන විනය ශක්ති සම්පන්නව ක්‍රියාත්මක කිරීමට සෑම දෙනාම සූදානම් විය යුතුයි. මා මෙතැනට පැමිණියේ කවුරුන් නිසාද, දැන් ‍ කොතැනද සිටින්නේ, මේ තැනට ගෙන ආවේ කුමක් සඳහාද යන වග සෑම විටම මතකයට නඟා ගන්නවා. එසේ මතකයට නඟන විටයි මට 2015 ජනවාරි 08 වැනිදා සිහියට නැගුණේ. ඒ දින අපේ රටේ කී දෙනෙකුට මේ වනවිට අමතක වී ඇත්ද? ඒ මහා විප්ලවයට නායකත්වය ලබා දී ඒ කැපකිරීම තුළ ජීවිතයත් අහිමිකරගත් මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමියන් අප කී දෙනෙකුට මතකද? කී දෙනෙකු උන්වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරනවාද? උන්වහන්සේ වෙනුවෙන් ආරම්භ කළ මේ උදා ගම්මානය උපන්දින දා ජනතා අයිතියට පත්කරන්නට මා තීන්දු කළේ ඒ නිසයි.

නව නිවාස 20කින් සමන්විත වන “ශ්‍රී සෝභිත නාහිමිගම” උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 216ක පමණ මුදලක් වැයකර තිබෙනවා. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 20කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ඉතා සුළු පොළී ණය මුදල් ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ඉතා වටිනා නිවාස ඉදිකරගෙන තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් “ශ්‍රී සෝභිත නාහිමිගම” උදා ගම්මානය සමන්විතයි.

අපේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,684ක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 816ක් අප ඉදිකළ යුතුයි. ඒ සඳහා තිබෙන්නේ තව දින 261 ක් පමණයි. මෙම ඉලක්කය ජය ගැනීම අභියෝගාත්මකයි. නමුත් කෙසේ හෝ එම ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරනවා. අපගේ අවසන් ඉලක්කය වන්නේ 2025 දී රටේ උදා ගම්මාන 20,000ක් ඉදිකිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා. ඒ අනුව වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000ක් ඉදිකර ‘සැමට සෙවණ’ ලබා දෙන බවමා සතුටින් ප්‍රකාශ කරනවා.

අද දින මෙම ගම්මානයේ පවුල් 20ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 100ක් වටිනා බිම් කොටස් 20ක අයිතිය හිමි වෙනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 500කට රුපියල් ලක්ෂ 500ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ලබා දෙනවා. පවුල් 45කට රුපියල් ලක්ෂ 90ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’ ලබා දෙනවා. ප්‍රතිලාභීන් 200 කට රුපියල් ලක්ෂ 400ක් වටිනා ‘සොඳුරු පියස’ නිවාස ණය ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 150 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දෙනවා. ප්‍රාදේශීය කලාකරුවන් 6 දෙනෙකුට රුපියල් 60,000ක් වටිනා වෛද්‍ය ආධාර ලබා දෙනවා. “ශ්‍රී සෝභිත නාහිමිගම” උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාවට හිමිවන ප්‍රතිලාභ මේවායි.

නව අදහස දක්වන්න